සදාචාරාත්මක පදනමකින් තොරව කිසිදු ජාතියකට සැබෑ ප්‍රගතියක් අත්කර ගත නොහැකි බව අවධාරණය කරමින්, බුදුදහම මුල් කරගත්, වර්තමානය වන විට ගිලිහී යමින් පවතින වටිනාකම් සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති යළි නඟා සිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පොසොන් පුර පසළොස්වක පෝදා පණිවිඩයෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද්දේ පොසොන් දිනයක බව සිහිපත් කළ ජනාධිපතිවරයා, එයින් අධ්‍යාත්මික පිබිදීමක් මෙන්ම දුරදක්නා සමාජ පරිවර්තනයක් ද ඇති කළ බව ප්‍රකාශ කළේය. බුදුදහම ජාතියේ සංස්කෘතික, සමාජීය සහ දේශපාලනික රටාව හැඩගැස්වුවා පමණක් නොව, පන්සල් අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කිරීමෙන් අධ්‍යාපනයේ ද දැවැන්ත පරිවර්තනයක් සිදු කළ බව එතුමා සඳහන් කළේය.
ගෘහ නිර්මාණ ශිල්පය, චිත්‍ර කලාව, වාරිමාර්ග ඉංජිනේරු විද්‍යාව සහ කලා සම්ප්‍රදායන් කෙරෙහි බෞද්ධ ආභාෂයෙන් ලැබුණු දායාදය ඉස්මතු කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ උරුමය ලෝකය ඉදිරියේ ජාතියට සුවිශේෂී හා අභිමානවත් ස්ථානයක් හිමිකර දී ඇති බවයි.
“එවැනි තේජවත් සහ උතුම් උරුමයක වර්තමාන උරුමක්කාරයන් ලෙස, සමාජයෙන් ක්‍රමයෙන් ගිලිහී යන වටිනාකම් සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති යළි නඟා සිටුවීමටත්, ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමටත් අප සැමට මඟ හැරිය නොහැකි වගකීමක් ඇතැයි” එතුමා ප්‍රකාශ කළ අතර, පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ආයතන ඇතුළු සෑම තැනකම ශිෂ්ටත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්රයත්නයන් මේ වන විටත් දියත් කර ඇති බවද වැඩිදුරටත් පැවසීය.
මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ චූලහත්ථිපදෝපම සූත්‍රය උපුටා දක්වමින් ජනාධිපතිවරයා, ක්රමානුකූල පුහුණුව සහ විනයගරුක සංවර්ධනයේ වැදගත්කම අවධාරණය කළේය. සදාචාරාත්මක, සමාජීය සහ පාරිසරික වටිනාකම් මත පදනම් වූ නවීන, ප්රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ශක්තියෙන් සහ දැඩි විශ්වාසයෙන් යුතුව එක්වන ලෙස එතුමා සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
“මෙම උතුම් පොසොන් මංගල්‍යය කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාවෙන් සෑම හදවතක්ම ආලෝකමත් කරයිවා” යි ජනාධිපතිවරයා සිය පණිවිඩය අවසන් කරමින් ප්‍රාර්ථනා කළේය.
