අපේ රටේ තියෙන දේශගුණයත් එක්ක වාහනයක AC එක කියන්නේ සුඛෝපභෝගී පහසුකමකට වඩා අත්‍යවශ්‍යම දෙයක් වෙලා ඉවරයි. හැබැයි අපි නොදැනුවත්වම කරන පුංචි පුංචි වැරදි නිසා වාහනයේ AC පද්ධතියට විතරක් නෙවෙයි, එන්ජිමටත් ලොකු හානියක් වෙන්න පුළුවන් කියල ඔබ දන්නවාද? නිවැරදි භාවිතය මගින් වාහනයේ කල් පැවැත්ම වගේම ඉන්ධන කාර්යක්ෂමතාවයත් වැඩි කරගන්න පුළුවන්.
ගොඩක් අය කරන ලොකුම වැරැද්දක් තමයි වාහනය පණගන්වන (Start කරන) අවස්ථාවේදීම AC එක දමා තිබීම. වාහනයක් ස්ටාර්ට් කරන මොහොතේ බැටරියෙන් සහ ස්ටාර්ටර් මෝටරයෙන් ලොකු බලයක් ගන්නවා. ඒ වෙලාවට AC කම්ප්‍රෙෂරයත් ක්‍රියාත්මක වෙලා තිබුනොත් එන්ජිමට සහ බැටරියට දරාගන්න බැරි බරක් වැටෙනවා. ඒ වගේම ගමන අවසානයේදී එන්ජිම නවත්වන්න කලින් අනිවාර්යයෙන්ම AC එක Off කරන්න පුරුදු වෙන්න ඕනේ. හොඳම දේ තමයි එන්ජිම නවත්වන්න විනාඩි කිහිපයකට කලින් AC ස්විචය නිවා දමා, ෆෑන් එක (Blower) පමණක් ක්‍රියාත්මක කර තැබීම. එමගින් AC පද්ධතිය ඇතුළේ තියෙන තෙතමනය වාෂ්ප වෙලා ගිහින් බැක්ටීරියා සහ පුස් බැඳීම වළක්වනවා. නැත්නම් AC එක දැම්මම අමුතු ගඳක් එන්න හේතුවෙන්නෙත් මේ තෙතමනයයි.
තවත් බරපතල කාරණයක් තමයි තද අව්වේ නවතා තිබූ වාහනයකට නැගපු ගමන් උපරිම වේගයෙන් AC දැමීම. අව්වේ තිබුණු වාහනයක් ඇතුළේ ගොඩක් විෂ වායු සහ අධික උෂ්ණත්වයක් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ජනෙල් ඔක්කොම ඇරලා, AC නොදා ෆෑන් එක විතරක් දාලා රස්නේ හුළං ටික එළියට යවන්න. ඊටපස්සේ වීදුරු වහලා AC එක දාන්න. ඒ වගේම AC එකේ තියෙන Recirculation බට්න් එක (වාහනය ඇතුළේ හුළංම නැවත සිසිල් කරන ක්‍රමය) ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉක්මනට කූල් වෙන්න මේක හොඳ උනාට, දිගටම මේක දාගෙන යද්දී කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා රියදුරුට නිදිමත ගතියක් එන්න පුළුවන්. ඒ නිසා දිගු ගමන් යද්දී විටින් විට එළියෙන් හුළං එන මෝඩ් එකට (Fresh Air Mode) මාරු කරන්න අමතක කරන්න එපා.
අවසාන වශයෙන්, නඩත්තුව ගැනත් හිතන්න ඕනේ. ගොඩක් අය එන්ජින් ඔයිල් මාරු කළාට කැබින් ෆිල්ටර් (Cabin Filter) එක ගැන බලන්නේ නෑ. මේ ෆිල්ටර් එක දූවිලි වලින් පිරුනම AC එකේ කාර්යක්ෂමතාවය අඩුවෙනවා වගේම විෂබීජත් ශරීරගත වෙන්න පුළුවන්. ඒ වගේම වැස්ස දවස්වලට හෝ සීතල දවස්වලට AC නොදා ඉන්න එකත් හොඳ නෑ. සතියකට සැරයක්වත් විනාඩි 10ක් වත් AC එක දුවවන්න ඕනේ, නැත්නම් ඒ පද්ධතියේ තියෙන සීල් වේලිලා ගෑස් ලීක් වෙන්න පුළුවන්. මේ පුංචි දේවල් ටික පිළිපැද්දොත් ලොකු වියදම් නැතුව සෑහෙන කාලයක් AC එක පාවිච්චි කරන්න ඔබට පුළුවන් වේවි.
