අපි හැමෝම ඉන්නේ පුදුමාකාර තරඟයකයි. උපන් දා සිට මියෙන තුරුම අපි කාට හෝ වඩා ඉදිරියෙන් ඉන්න, මොනවා හරි දේවල් ටිකක් එකතු කරගන්න, සමාජයේ ඉහළම තැනක වැජඹෙන්න හුස්ම ටික අල්ලගෙන දුවනවා. නමුත් කවදා හෝ ඔබ මොහොතකට නැවතිලා හිතුවා ද අපි මේ දුවන්නේ කොහාට ද කියලා? බොහෝ විට ජීවිතයේ සැඳෑ සමයට එළැඹුණාම ආපසු හැරී බලන බොහෝ දෙනෙකුට පෙනෙන ඇත්තක් තමයි, තමන් මුළු ජීවිත කාලයම රවුමක් වටා දුවමින් වෙහෙස වී ඇති බවත්, අවසානයේ තමන් පටන් ගත් තැනම නතර වී ඇති බවත්. මේ නොනවතින ධාවන පථයෙන් මිදී ජීවිතයේ සැබෑ සැනසීම සොයාගන්නේ කෙසේ ද යන්න පිළිබඳව අපූරු පාඩමක් කියාදෙන කතාවක් තිබෙනවා.
එක්තරා කඳු මුදුනක මහා ප්‍රඥාවන්ත ගුරුවරයෙක් වාසය කළා. ඔහු කෙතරම් දැනුම් සම්භාරයක් සහිත අයෙක් වුවත්, කිසිම දිනක ගෝලයෙක් බඳවා ගත්තේ නැහැ. නමුත් එක් තරුණයෙක් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පැමිණ කළ ඉල්ලීමක් නිසා, අවසානයේදී ඔහුව තම ගෝලයා ලෙස භාර ගැනීමට ගුරුවරයා කැමති වුණා. ගෝලයා ලෙස පත් වූ පළමු දිනයේම ඔහුට දැඩි පිපාසයක් ඇති වූ අතර, කඳු මුදුනේ වතුර නොතිබූ නිසා පසුවදා පහළ ඇති ළිඳකට යාමට සිදු වුණා. ළිඳෙන් වතුර බාල්දියක් ඇද එක හුස්මට බිව් ගෝලයාට ගුරුවරයා අපූරු පාඩමක් කියා දුන්නා. ඔහු නැවතත් වතුර බාල්දියක් ඇද ගෝලයා අතට දී විමසා සිටියේ, “දැන් ඔබ අතේ තිබෙන වතුරත්, මීට මොහොතකට පෙර ඔබ බිව් වතුරත් අතර වෙනස කුමක් ද?” කියායි. ගෝලයාට එය වැටහුණේ නැහැ. එවිට ගුරුවරයා පෙන්වා දුන්නේ වතුර වල වෙනසක් නැති බවත්, වෙනස ඇත්තේ ‘පිපාසය’ තුළ බවත්ය. අපට යමක් දැඩිව අවශ්‍ය වූ විට එය ලෝකයේ වටිනාම දෙය ලෙස පෙනුණත්, අවශ්‍යතාවය සංසිඳුනු පසු එහි වටිනාකම අපට නොදැනී යනවා. මෙය අපේ ජීවිතයේ අපි හඹා යන භෞතික දේවල් වලට සමානයි.
මේ ගෝලයාට ලැබුණු දෙවන පාඩම ඊටත් වඩා ගැඹුරුයි. පසු දිනෙක නැවත වතුර බොන්නට ගිය විට එම වතුරෙන් දැඩි දුගඳක් හමන්නට වුණා. බැලූ විට ළිඳට වැටුණු සතෙක් මිය ගොස් වතුර කුණු වී තිබුණා. එය පෙන්වූ ගුරුවරයා කියා සිටියේ “උපත ලැබූ ඕනෑම දෙයක් විනාශ වී යාම ස්වභාවය” බවයි. ඉන්පසු ඔවුන් එම ළිඳ වටා ආරක්ෂිත බැම්මක් බැඳ ළිඳ ආරක්ෂා කළා. මේ සිදුවීමෙන් කාලයකට පසු, ගුරුවරයා ඉතා සන්සුන්ව සිටින මොහොතක ගෝලයා ඔහුගෙන් ජීවිතයේ ශ්‍රේෂ්ඨතම දැනුම කුමක්දැයි විමසා සිටියා. ඊට පිළිතුරු දෙනවා වෙනුවට ගුරුවරයා නිහඬ වුණා. වසරක් පුරාවටම ගෝලයා ප්‍රශ්න කළත් පිළිතුර වුණේ නිහඬතාවය පමණයි. ගෝලයා තමන්ගේ පොතේ “ශ්‍රේෂ්ඨතම දැනුම නිහඬතාවයයි” යනුවෙන් ලියා ගත්තත් එහි සැබෑ අරුත ඔහුට වැටහුණේ නැහැ.
එක් සඳ පායපු රාත්‍රියක නින්ද නොගිය ගෝලයා එළිමහනට පැමිණි විට, ඔහුට සොබාදහමේ සියුම් ශබ්දයන්, සුළඟේ හඬ සහ රැයේ නිහඬබව ගැඹුරින් දැනෙන්නට පටන් ගත්තා. ඔහුගේ සිතේ තිබූ කලබලකාරී ස්වභාවය මැකී ගොස් මහා ආධ්‍යාත්මික සුවයක් දැනුණා. ඒ මොහොතේ ඔහුට වැටහුණා ගුරුවරයා වසරක් පුරා තමන්ට ඉගැන්වූයේ වචනයෙන් ලිවිය හැකි දෙයක් නොව, විඳිය යුතු දෙයක් බව. ඔහු පසුදා උදෑසන ගුරුවරයා ඉදිරියේ කිසිත් නොකියා නිහඬව සිටියා. ගෝලයා සත්‍යය අවබෝධ කරගත් බව ගුරුවරයාට වැටහුණා. “නිහඬතාවය කියන්නේ දැනුම නොවෙයි, සැබෑ දැනුම ගොඩනැගෙන්නේ නිහඬතාවය නමැති පදනම මතයි” යනුවෙන් ගුරුවරයා පහදා දුන්නා.
අපේ ජීවිතත් හරියට මේ කතාව වගේමයි. අපි උපාධි, තනතුරු, දේපළ එකතු කරගන්න වෙහෙසෙනවා. යමක් ලබා ගත්තත් තව දෙයක් ඕන වෙනවා. සිත කවදාවත් නතර වෙන්නේ නැහැ. මේ දේවල් පස්සේ දුවන අපි, අපේ ඇතුළාන්තයේ තියෙන සැබෑ නිහඬතාවය සහ සැනසීම මග හරවා ගන්නවා. සැබෑ ප්‍රඥාව සහ ජීවිතයේ නිවැරදි දිශානතිය හමු වෙන්නේ පොත් පත් වල හෝ සමාජ ජාලා වල නොවෙයි, තමන් තමන් දෙසම හැරී බලන නිහඬ මොහොතකයි. දවසකට විනාඩි කිහිපයක් හෝ ඔබේ සිතේ දුවන සිතුවිලි දෙස බලා හිඳින්න, නිහඬ වන්න. එවිට මේ නොනවතින ධාවන තරඟය නවතා සැබෑ ජීවිතය විඳින්නට ඔබටත් හැකි වේවි.
