මට දැනෙන තැන තමයි මං නතර වෙන්නේ – ශලිනි තාරකා

සිරස අවුරුදු කුමරිය මුල්ම ජයග්‍රාහිකාව ඇයයි. ඒ 2007 වසරේදීය. ඒ ඇගේ කලා දිවියේ ඇරඹුමයි. ‘කියාදෙන්න ආදරේ තරම්’ හි ස්නේහා ලෙසින් සිරස ටීවී ඔස්සේ මේ දිනවල ඔබේ ආලින්දයට එන ඇය සමඟයි අද කතාබහ. ඇය රංගන ශිල්පිනි ශලිනි තාරකායි.

“කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ෂූටින් එක්ක මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඊට අමතරව සුපුන් රත්නායකගේ ‘තත්පරයක් දෙන්න’ කියලා ටෙලි නාට්‍යයක් කළා. ශාන් ජයරත්න කියලා අලුත් අධ්‍යක්ෂවරයකුගේ ටෙලි නාට්‍යයක් කෙරීගෙන යනවා.

රිදී තිරයේ එලෙස පායා දිලෙන මේ තාරකාව පුංචි තිරය එකලු කරන්නේ ද වයස් භේදයක් නැති ජනතා මනාපයෙන්. විටෙක දක්ෂතම නිළි සම්මානය දෝතට ගන්නා ඇය තවත් විටෙක ජනප්‍රියම තරුව ලෙස පිදුම් ලබනවා. කිරුළු දෙකම එකවර හිමි කරගත් අවස්ථා ද නැතුවා නොවෙයි. ‘ගිරිදේවි’ සහ ‘අඩෝ’ ඇය උපරිම තලයේ දක්ෂතා දැක්වූ ටෙලි නාට්‍යයන්ය.

“ෂර්ලි පී දෙලංකාවලගේ ‘පූජාසනය’ ප්‍රධාන චරිතය තමයි මා ගැන කලා ක්ෂේත්‍රය තුළ පැහැදිලි සටහනක් තැබුවේ. මගේ රංගන දිවියේ ඇරඹුම එතැන කීවොත් නිවැරැදියි. ඊට පෙර පතිනි කියන ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් කළා.

විශේෂයෙන්ම චරිතයක් තෝරා ගැනීමේ දී මං අධ්‍යක්ෂ මෙන්ම තිර පිටපත් රචකයා එක්කත් සාකච්ඡා කරනවා, මට මේ චරිතය තුළ කොතරම් දේවල් කරන්න පුළුවන් ද කියන එක. ප්‍රධාන චරිතයම කියා තෝරා ගැනීමක් නොකළත් මට ලැබුණෙම ප්‍රධාන චරිත. කලින් කළ චරිතයක් හා සමාන චරිතයක් නම් මං ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. මං කැමති නැහැ එකම වගේ චරිත රඟපාන්න. ඒ චරිතයට වෙන මහන්සියට සරිලන මුදලක් මට ලැබෙනව ද කියන එක ගැනත් මං සැලකිලිමත්. මේ හැමදේටම ඔවුන් කැමති නම් විතරයි මං චරිතය භාර ගන්නේ.“

ගීත රූප රචනා සඳහා සම්බන්ධ වෙන්න කිසිදු කැමැත්තක් නැති ශලිනි ගීත රචනයට යොමු වී තිබීම විශේෂත්වයක්.

“මං නිර්මාණය කළ ගීත තුනක් මේ වනවිටත් සමාජගත වෙලා තියෙනවා. ඊට අමතරව තව ගීත තුනක් ඉදිරියට එන්න තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම මං නිසඳැස් ලිව්වා. එක වෙලාවකදි මට හිතුණා ඒවා ගී බවට පෙරළන්න.“

කලාවේ බොහෝ පැතිකඩ ස්පර්ශ කරන ඇයට ආදර ඇරයුම්වලිනුත් අඩුවක් නැතුව ඇති.

“මට ගැළපෙන කෙනා එක්කයි මං ජීවත් වෙන්න ඕන කියන එක මං දැඩි ලෙස විශ්වාස කරන දෙයක්. අපි කාටවත් සීයට සීයක්ම ගැළපෙන කෙනා හම්බ වෙන්නෙ නෑ. ඒත් ඔයා දැන් වයසට යනව නේද? දැන් කෙනෙක් හොයා ගන්න ඕන නේද? කියලා කවුරුත් කියන තැන නැතුව මට මෙන්න මෙයත් එක්ක තමයි ජීවිතේ ගත කරන්න පුළුවන් කියලා කවදාහරි මට දැනෙන තැන තමයි මං නතර වෙන්නේ.”

නාමලි ගමගේ