ලෝකයේ ඇති වටිනාම වයලීන

කතෘ – ලලිත් කරුණාරත්න

ඩොලර් මිලියන 15ක් ඔබට තිබේ නම් ඔබ කුමක් කරන්නේද?

ඒ මුදලෙන් ස්ට්‍රඩිවේරියස් වයලීනයක් ගන්නා අයද සිටී. එක අතකට එහිද වරදක් නැත. මුදලේ ප්‍රමාණය තීරණය වන්නේ එක එක පුද්ගලයා මතය. මුද්දරයක් කියා කියන කුඩා කොළ කැබැල්ලකට එවැනි වටිනාකම් ඇති අවස්ථාවන්ද තිබේ. දැන් මෙහි අනෙක් පැත්තද සිතිය යුතුය. ඔබට ප්‍රවේණියෙන් ලැබී ඇති පැරණි ගෘහ භාණ්ඩ සමඟ පුස් කන ලද තත් බිඳගිය වයලීනයක් ඇත්නම්, එය බැරි වෙලාවත් ස්ට්‍රඩිවේරියස් වයලීනයක් වුවහොත් ඔබ ක්ෂණිකව මිලියනපතියෙක් වනු ඇත.
යටත් විජිත වාදීන් ලංකාවට පැමිණෙන විට මේ වටිනා වයලීන ලංකාවටද ගෙන ආවේය යයි කියති. සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාව ගිලෙන විටදී එහි සිටි සංගීතවේදීන් වාදනය නොනැවත්වූ බව කියති. එහි වාදනය කර ඇති වයලීනයද ස්ට්‍රඩිවේරියස් වයලීනයක් යයි කියනු ලැබේ.

මිනිස් මනස විශ්මය ජනක වේ. අප සෑම විටම මනස තෘප්තිමත් කිරීමේ ක්‍රම සොයා ගනිමින් සිටින්නෙමු. ඇස, කණ, නාසය, දිව සහ ශරීරය පිනවන්නෙමු. මින් එකක් වන කණ උපරිම වශයෙන් පිනවෙන්නේ කෙසේද ? සමහරවිට සින්දුවක් හෝ සංගීතයක් ඇසීමෙනි. ගායනයක්? වාදනයක්?

එය වාදනයක් වන්නේ නම් ඔබ අසන්නට කැමති හොඳම ශබ්දය කුමක්ද ? සප්ත ස්වර ගැන නොදන්නා කෙනෙක් නැත. එය එසේ නම් ඈතින් ඇහෙන බටනළාවක් සහ වයලීනයක් මගින් මැවෙන ස්වර දෙකක් යයි අප හඳුනාගන්නේ කෙසේද ? මෙන්න මේ හඳුනා ගැනීමට පාදක වන ගුණයට, “ධ්වනි ගුණය” යයි කියනු ලැබේ. එනම් සංගීත භාණ්ඩ දෙකකින් නික්මෙන එකම ස්වරයක ශබ්ද දෙකේ වෙනසයි.

මෙය තව දුරටත් විස්තර කරන්නේ නම්, ශබ්දයක් යන්න සංගීත ස්වරයක් වීම සඳහා කිසියම් ශබ්දයක කම්පන ප්‍රමාණය 20 ට වඩා වැඩි විය යුතුය. එසේම 20,000 ට වඩා අඩු විය යුතුය. එය මිනිසාගේ ශබ්ද ස්වර සංඛ්‍යාත පරාසය වේ. සම්මත C හෙවත් “ස” ස්වරයේ සංඛ්‍යාතය 256 කි. එනමුදු කෙනෙක් වයසට යන විට, විශේෂයෙන් ඉහළ පරාසය තවත් අඩු වේ. පැරණි තාලයේ ටෙලිවිෂන නඩත්තුවේදී, එහි රූප අඳින ඉලෙක්ට්‍රොනික කදම්බය තිරසට චලනය කරන සංඛ්‍යාතය හෙවත් තිරස් සංඛ්‍යාතය 15625 අපට ඇසිණි. [Horizontal oscillation frequency] එය අපට එකළ ඇසුනද, තව දුරටත් එය අපට ඇසෙන්නේ නැත. හේතුව වයසට යාම නිසා කණේ ඇති සංවේදීතාවය අඩු වීමය. දැන් අපේ මාතෘකාව ගතහොත්, වයලීනයකින් සහ බටනළාවකින් නිර්මාණය කල හැකි එකම ස්වරයක් ගනිමු.

කතාව තවත් සරළ කිරීමට ඒ ස්වරය සම්මත “ස” යයි සිතමු. එවිට ඒ ස්වර දෙකේම ඇත්තේ කම්පන 256ක් පමණි. එය එසේ නම් ශබ්ද දෙකක් අපට ඇසෙන්නේ කෙසේද ? ඊට හේතුව වන්නේ නිසල ජලයට ගලක් දැමූ විට ඇතිවන ඉහළ පහල යන තරංගය සේ ඇතිවන වයලීනය සහ බටනළාව හී තරංග දෙකේ ස්වභාවය වෙනස් වීමය. එකම සංඛ්‍යාතය හෙවත් තරංගයේ ඉහළ අවස්ථා දෙකක් අතර දුර එකම වුවද, ඒ ප්‍රධාන තරංගයට එකතු වී ඇති අනෙක් සියුම් තරංග වෙනස් වී ඇත.
දැන් මේ කියන ඉතාලි වයලීන මෙතරම් ධ්වනි ගුණයෙන් ඉහළ යයි සලකන්නේ ඇයි යන්න ගැන සිතිය යුතුය.

සංගීත ඛණ්ඩයක විවිධ සංඛ්‍යාතයෙන් යුතු ශබ්ද පවතී. තන්තු වලින් ඇති කෙරෙන ඒ ශබ්දය, වයලීනයේ නොයෙක් කොටස් ක්‍රමානුකූලව අනුනාදය කරනු ලැබේ. එහෙත් මේ අනුනාදය යනු කුමක්ද? නිවස අසලින් යන රේල් පාරක් තිබේ නම්, එය පහසුවෙන් අවබෝධ කරගත හැක. එනම් දුම්රියක් ඒ රේල් පාරේ යන විට එක්තරා ජනේලයක් ස්ඵන්ධනය වෙනවා අපට ඇසිය හැක. එනම් ඒ ජනලයේ ස්වභාවික සංඛ්‍යාතය දුම්රියෙන් ඇති කරන ශබ්දයට සමාන වේ.

ඉහළ තලයේ වයලීනයක් ඇති කරන සියලු ශබ්ද සඳහා එහි ශරීරය හෙවත් “බොඩි” එක අනුනාදය වේ. ඩොලර් 15 කට ගන්නා වයලීනයකින් ඇති කරන ශබ්දය සහ ඩොලර් මිලියන 15 කට ගන්නා වයලීනය අතර ඇතිවන වෙනස එය වේ. මෙසේ 20 සිට 20,000 තෙක් සියළු සංඛ්‍යාත වලට වයලීනය එක අයුරෙන් අනුනාද වන්නට, උතුරු ඉතාලියේ ක්‍රිමෝනා හී සිටි “ඇන්ටෝනියෝ ස්ට්‍රඩිවේරියස්” සමත් වූයේ කෙසේද යන්න අදටත් අභිරහසකි.

දැනට ඉතිරිව ඇති Stradivarius වයලීන 650ක් පමණ ඇති අතර, ඒවායින් බොහොමයක් පුද්ගලික එකතු කරන්නන්ට අයත් වේ. ඒවා මහජන දර්ශනයෙන් ආරක්ෂිතව සැඟවී ඇත. Stradivarius වයලීනයක් මෙතරම් මිල අධික වන්නේ ඇයි?

ඊට තවත් හේතුවක් වන්නේ, සැපයුම සහ ඉල්ලුම අතර වෙනස වේ. එනම් Stradivarius වයලීනයක වටිනාකම ඉතා ප්‍රිය වීමට එක් හේතුවක් නම්, ඒවායින් ස්වල්පයක් ඉතිරිව ඇති නිසාත්, ඒවා තවදුරටත් නිපදවා නොතිබීමත් ය. සරල ආර්ථික විද්‍යාව නියම කරන්නේ ඉල්ලුමක් ඇති නමුත් අඩු සැපයුමක් ඇති විට වටිනාකම වැඩි වන බවයි.

ඇන්ටෝනියෝ ස්ට්‍රැඩිවාරිගේ ස්වර්ණමය යුගයේ නිෂ්පාදන ඉතා වටිනා වයලීන වේ. ඒවාට බොහෝ විට එක් එක් නම් දමා ඇත. “සොයිල්” යන්න ඔහුගේ හොඳම වයලීනයක් ලෙස සැලකේ. 1950 දී “යෙහුඩි මෙනුයින්” [Yehudi Menuhin] විසින් එය අත්පත් කර ගන්නා ලද අතර 1986 දී එහි වත්මන් හිමිකරු “ඉට්සාක් පල්මන්” [Itzhak Perlman] වේ.1997 දී Pittsburgh Symphony Orchestra පටිගත කිරීමකදී එය වාදනය කළේය.

තවත් වටිනා වයලීනයක් වන “මෙසායා” [Messiah] නම් ස්ට්‍රැඩිවාරියස් වයලීනය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හි ඇෂ්මෝලියන් කෞතුකාගාරයේ භාරකාරත්වය යටතේ පැවතුනි. එය ප්‍රසිද්ධියේ වෙන්දේසි කර නොතිබුණද, එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වේ.

1700 සිට 1720 දක්වා ඔහුගේ ස්වර්ණමය කාලය ලෙස සැලකෙන කාලය තුළ නිර්මාණය කරන ලද වඩාත්ම මිල අධික Stradivarius වයලීන වේ. ඉහළ තලයේ වයලීන සඳහා භාවිතා කරන ලද දැව වර්ග වයලීනයේ එක එක ස්ථාන අනුව වෙනස් වේ. වයලීනයේ ඉහළ කොටස සඳහා ස්පෘස්, ඇතුලත සඳහා විලෝ සහ පිටුපස, රිබ්ස් සේ හැඳින්වෙන සහ නෙක් සේ හැඳින්වෙන කොටස් සඳහා මේපල් ඇතුළත් විය. ඕක් ලීයද මේ සඳහා භ්ජාවිතා වේ. වයලීනයක් සෑදීමට පෙර සහ පසුව භාවිතා කරන ලද දැව යම් යම් රසායනික වර්ග කිහිපයකින් පිරියම් කර ඇති බවට අනුමාන කිරීම් තිබේ.

“Guarneri del Gesù” යන වයලීනය ලොව මිල අධිකම වයලීනය වන අතර එය ඇස්තමේන්තුගත $16m (£ 10.5million) කට අලෙවි වේ. එහි නව හිමිකරු නිර්නාමිකව වයලීන වාදක “ඈන් අකිකෝ මේයර්ස්” වෙත සිය ජීවිත කාලය පුරාම එය ණයට දී ඇත.

“The Lady Blunt Strad” යන වයලීනය යථා තත්ත්වයට පත් කළ පසු එය වෙන්දේසියකදී ඩොලර් 201,000 කට අලෙවි විය. ගැනුම්කරු (Robert Lowe) වසර 30 ක් සඳහා හිමිකරු වූ අතර පසුව එය ඩොලර් මිලියන 10 කට “Nippon Music Foundation” විසින් අත්පත් කර ගන්නා ලදී.

මේ අපූරු වයලීන වල නිර්මාතෘ Antonio Stradivari, 16 වන සියවසේ ඉතාලියේ ක්‍රිමෝනා හී උපත ලැබීය. ඔහු සමහර අවස්ථාවල වසර දහස් ගණන් පල්ලි අසළ වැවී තිබුණු ඕක් ගස් වල ලී එම වයලීන සඳහා භාවිතා කලේ යයි ජන ප්‍රවාද තිබේ. පල්ලියේ ඝන්ටාරයේ ශබ්දය වසර දහස් ගණනක් එම ඕක් ගසට කාවැදී එය වයලීන නිර්මාණයට බොහෝ යෝග්‍ය විය යයි කියනු ලැබේ. මේ ඉතාලි වයලීන නිෂ්පාදකයා, වයලීනය සෑදීමේ ශිල්පය එහි ඉහළම තත්ත්‍වයට ගෙන ආවේය.
ඔහුගේ බිරිඳ අකාලයේ මිය ගිය විට, ඇයගේ ලේ ගල් වන්නට පෙර ඒවා එකතු කර වයලීන සඳහා වාර්නිස් ආලේපයක් තැනුවේය යන්න The Red Violin යන සිනමා වෘතාන්තයේ ඇත. පුදුමයකට මෙන් සමහර වයලීන වල වාර්නිස් වර්ගයේ රසායනික පරීක්ෂාවේ එහි මිනිස් සංඝටක ඇති බව සොයා ගෙන ඇත. ඒ “රතු වයලීනයෙන්” නැගෙන්නේ ගැහැණියක් වැළපෙන ශබ්දයයි.

ජාතික තායිවාන් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනය පිළිබඳ කතුවරයකු වන හ්වාන්-චිං තායි පැවසුවේ, ස්ට්‍රැඩිවාරි වයලීනය බොහෝ විට විස්තර කර ඇත්තේ “දීප්තිය” [“brightness” සහ “දීප්තිය” and “brilliance”] ලෙස වන අතර, මෙම ගුණාංග දෙකම වයලීනයේ ඉහළ සංඛ්‍යාත නාදවල මුල් බැස ගත හැකි බවයි. වචන දෙකේ “සංගීතමය” වෙනස් කම දන්නා කෙනෙක් කියනු මැනවි.

කාන්තා කටහඬට වඩාත් සමීප ස්ටඩිවෙරීස් වයලීන සමහරක් සතුටෙන් සිටින කාන්තාවකගේ මාධුර්යමත් සහ ප්‍රබෝදමත් කටහඬ ඇති කරයි. “රතු වයලීනය” වැනි තවත් සමහරක් ශේක්ස්පියර් ගේ දුඛ්කාන්ත නාට්‍යයක හඬන කාන්තාවකගේ කටහඬ නිරූපණය කරයි.