ලෝක විනාශය පිළිබඳව ලොමුදැහැගන්වන අනතුරු ඇඟවීමක්‌

අපි දැන් දළදා මාලිගාවෙන් ගමනාරම්භ කර බෞද්ධ නායකයන්ගේ ආත්මාර්ථකාමීකම ගැන වටහා ගනිමු. දළදා මාලිගාව යකඩ වැටවල් ගසා සිව් දෙසින් වටකර ඇති අතර විදේශීකයන් ඊට ඇතුළුවීම සඳහා විශාල මුදලක්‌ ගෙවා ටිකට්‌පත් ලබාගත යුතුය. ඊට ඇතුළුවන තැනදී ටිකට්‌පත් අත ඇති විදේශිකයන්ට වැඩි සැලකිලි ලැබෙයි. එහි ඇතුළුවන තැනම විදේශිකයන් සඳහා පමණයි යනුවෙන් බෝඩ් ලෑල්ලක්‌ ගසා ඇති බව ඕනෑම කෙනකුට දැකගත හැකිය. බෞද්ධයන් පෝලිමේ ගොස්‌ දළදා වඳිද්දී විදේශිකයන්ට කෙටි පාරකින් ගොස්‌ ඊට ඇතුළුවිය හැකිය. මැඳුරේ එක්‌පසෙක ප්‍රභූන් යයි සැලකෙන සත්ව කොට්‌ඨාශය සඳහා වෙන් කර ඇති දොරටුවකි. පොදු ජනතාවට එතැනින් ඇතුළුවීමට ඉඩක්‌ නැත්තේය. පොදුජනතාවට දළදා මැඳුර අසල වාහන නැවැත්විය නොහැකි අතර ප්‍රභූන් නම් සත්ව කොට්‌ඨාශයට පමණක්‌ ඒ හිමිකම ඇත. නුවර මහියංගන ප්‍රධාන පාර දළදා මැඳුර අසලින් වසා දමා ඇත. 

එලෙස පාර වසා ඇත්තේ ජාත්‍යාලයක්‌ හෝ ආගමික භක්‌තිය නිසා නොව ඔය කියන විගඩම් පහසුවෙන් කරගැනීම ස`දහා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දළදා මැඳුර මුළු ලෝකයේම බෞද්ධයන්ට ඇති සුවිශේෂී හා වැදගත්ම ස්‌ථානයයි. එවන් අතිපූජනීය ස්‌ථානයක උරුමක්‌කරුවන් වන සිංහල බෞද්ධයන්ට එතැනදී කෙරෙන කෙණෙහිලිකම් හා අසාධාරණකම් මෙයින් හො`දටම ඔප්පු වෙයි.

එදා බුදුන් දවස ඡේතවනාරාමයට ඇතුළු වන තැන පොලිස්‌ මුරපොලවල් තිබුණේද? නැත. ටිකට්‌ කවුන්ටර් තිබුණේද? නැත. ඒ ඒ ජනවර්ගයට වෙනස්‌ ලෙස සලකා තෝරා බේරා ඇතුළුකර ගත්තේද? ඒත් නැත. රජදරුවන්ට ඇතූළුවීමට වෙනම දොරටු වෙන් කර තිබුණේද? නැත.

මට කියන්නට අවශ්‍යවනුයේ ඔය කියන ටිකට්‌ කවුන්ටර් වසා දමන්න, අලි ඇතුන් ලිහාදමන්න, මාලිගාව ළඟ පාර හැරදමන්න කියන දේ නොවේ. ඔවුන් මා කියන දේ තඹ සතයකට ගණන් නොගන්නා බව මම හොඳාකාරව දනිමි.

මට කියන්න අවශ්‍ය වනුයේ ඊට සරල පණිවුඩයකි. බුදුදහමෙහි ඉගැන්වෙන සාරධර්මයන් යන්තම් හෝ වටහා ගත් කෙනකු ඔය කිසිම ලොකු පුටුවක නැත. බුදුදහම වටහා ගත්තකු කිසිදින බුදුන්වහන්සේ මාකට්‌ කර මුදල් උපයන්නේ නැත. එයයි, මා විසින් රට දෙන පණිවිඩය. 

බුදුන්වහන්සේට සැබෑ ගෞරවයක්‌ ඇති පිරිස්‌ සිටිත් නම් කළ යුත්තේ බෞද්ධ පූජනීය ස්‌ථාන මාකට්‌ කිරීම නොව සැමට සාධාරණයක්‌ ඇතිවන පරිදි ඒ ඒ ස්‌ථාන නොමිලයේ වැඳපුදා ගැනීමට ක්‍රමෝපායයන් පිළියෙළ කිරීමයි. 

බුදුදහම ගැන මා ඉදිරිපත් කරන තර්ක විතර්ක අසත්‍ය නම් කවුරුන් හෝ ඉදිරියට පැමිණ මා අසත්‍ය ප්‍රකාශ කරන බව ඔප්පු කර පෙන්වන්න. එදිනට මම බුදුදහම ගැන ලිවීම නවතා මගේ වැඩක්‌ බලාගනිමි.

දිවයින පුවත්පතේ පළවන බුදුවරුන් හා බෝසත්වරුන් පිළිබඳ ලිපි පෙළ කියවූ විශාල පිරිසක්‌ මා වෙත ස්‌තුති කරමින් ලිපි එවා ඇත. එනමුත්, මා විස්‌තර කරන්නට යන මේ ලිපිය ඒ ලිපි සියල්ලටම වඩා වෙනස්‌ හරිම පුදුම එකකි. කියවා බලන ඕනෑම කෙනකු අන්දමන්ද කරවන ආකාරයේ ලිපියක්‌ මා වෙත ලැබී ඇත. ඒ ලිපියේ අන්තර්ගතය වෙත යොමු වීමට පෙර දැනට වසර හතකට පමණ පෙර අත්දුටු සිදුවීමක්‌ මෙහි සටහන් කර තබමි.

එය සති අන්ත දිනක්‌ වූ බැවින් මම සුපුරුදු පරිදි ලේඛන කාර්යයෙහි නිරතව සිටියෙමි. ඉස්‌තෝප්පුවේ ලෑලි පුටුවක හිඳගෙන මා කරන ලේඛන කාර්යය නිවැසියන්ට අමුත්තක්‌ නොවීය. ඔවුහු මට බාධා නොවන පරිදි තමතමන්ගේ දෛනික චර්යාවෙහි නිරතව සිටියහ. කවුරුන් හෝ මා ඉදිරිපිට සිටින බව හැඟී ගියෙන් මම හිස ඔසවා ඉදිරිය බැලීමි. මා ඉදිරිපිට හිටියේ වයස අවුරුදු විසිපහක්‌ නැති නම් තිහක්‌ යෑයි කිව හැකි පුද්ගලයෙකි. ඔහුගේ තියුණු දෑස්‌ කිසියම් ආධ්‍යාත්මික සංයමයක සේයාවක්‌ කියා පෑවේය.

''මහත්මයා, මම බොහෝම දුරබැහැර ඉඳගෙන ආවෙ. පොඩ්ඩක්‌ මට කථා කරන්න පුළුවන්ද?''

මම ඔහු නිවස තුළට කැඳවා අසුනක්‌ පැනවීමි. හේ අසුනට බරවී නිල් පැහැති ඩෙනිම් රෙද්දෙන් මසන ලද ගමන් මල්ල බිම තබා දිගු කථාවක්‌ ආරම්භ කළේය.

''මම මේ දවස්‌වල ඉන්නෙ නාඋයනෙ අරියධම්ම ස්‌වාමින් වහන්සේ ළඟ. නාඋයනෙ හාමුදුරුවො කලින් වැඩඋන්නෙ ගල්දූවෙ ආරණ්‍ය සේනාසනයෙ. දැන් උන්නාන්සෙ වැඩ ඉන්නෙ අපේ ගෙවල් කිට්‌ටුව. අපි කිහිප දෙනෙක්‌ම එතැන ඉඳගෙන බණ භාවනා කරනවා.''

''නාඋයනෙ හාමුදුරුවො අසනීප වෙලා කියන්නෙ ඇත්තද?''

''ඔව්. ඒ කථාව නම් ඇත්ත තමයි. නමුත් මම අද ආවෙ ඒ ගැන කියන්න නෙවෙයි. මම ආවෙ ඊටත් වඩා දැවෙන ප්‍රශ්නයක්‌ ගැන කථා කරන්න. මේ ප්‍රශ්නෙ ගැන අපට කීවෙ නාඋයනෙ හාමුදුරුවො.'' 

අමුත්තා දැන් සිය දැවෙන ප්‍රශ්නය විස්‌තර කිරීමට සූදානම්ව සිටියි. මම මීයට පිම්බාක්‌මෙන් නිශ්ශබ්දව ඔහු වෙත සවන් යොමු කර සිටිමි.

''නාඋයනෙ හාමුදුරුවො භාවනා කරල උසස්‌ තැනකට පැමිණි උත්තමයෙක්‌. උන්වහන්සේ එක දවසක භාවනා කරන අතර දැකල තියෙනවා, පෘථිවිය දිහාවට අභ්‍යවකාශයෙන් එන විශාල ගල් පර්වතයක්‌. ඒ ගල් පර්වතය පොළවෙ වැදිලා හිතාගන්න බැරිතරම් විනාශයක්‌ වෙන බවයි නාඋයනෙ අරියධම්ම හාමුදුරුවො කියන්නෙ. හාමුදුරුවො කියන හැටියට ලෝක ජනගහනයෙන් සියේට අනූවක්‌ විතර ඔය ගල් පර්වතේ පොළොවෙ වැදීමෙන් හටගන්න විවිධ උපද්‍රව නිසා මියෑදෙනවා. මහත්තය සමහර විට විශ්වාස කරනෙකක්‌ නැහැ. නාඋයනෙ හාමුදුරුවන්ගෙ අනුගාමිකයන්ගෙන් ගණනාවක්‌ම දැන් විදර්ශනා වඩනවා ගල් පර්වතේ පොළොවෙ වැදෙන්න කලින් මාර්ගඵලවලට එන්න කියලා. ඒ විතරක්‌ නෙවෙයි. තවත් පුදුම කතාවක්‌ මම කියන්නම්. නාඋයනෙ හාමුදුරුවො කියන දෙය අකුරට පිළිපදින පිරිසක්‌ අදටත් ලංකාවෙ ඉන්නවා. එයාල කවුරුත් දැන් ලෝක විනාශෙට ලකලැහැස්‌ති වෙලයි ඉන්නෙ. සමහරු හොර රහසෙම ගෙවල්වල උමං මාර්ගත් හාරගෙනයි ඉන්නෙ.''

''ඔය කියන ගල්පර්වතේ වදින කාලෙ හාමුදුරුවො කොහේ ඉන්නව කියලද කීවෙ?'' 

මම වැදගත් අතුරු ප්‍රශ්නයක්‌ අමුත්තා වෙත යොමු කළෙමි.

''හාමුදුරුවන්ගෙන් අපි ඔය ප්‍රශ්නය ඇහුවා. උන්වහන්සේ බොහොම තැන්පත්ව කිව්වා මෙන්න මෙහෙම. මට නම් ඔය ගල් පර්වතය ප්‍රශ්නයක්‌ වෙන්නෙ නෑ. මොකද ඒ වෙන විට මම ජීවතුන් අතර නැති නිසා.''

ඒ අපූරු කථාව කියූ පුද්ගලයා දුරකතර ගෙවා මා වෙත පැමිණ සිටියේ හේතු ඇතිවමය. ඔය කථාව ඔහු මා වෙත කියන්නට එන විට මා විසින් බෞද්ධ පොත් රාශියක්‌ ලියා ජනතාව අතරට පත් කර තිබුණි. බුදුදහම පිළිබඳ විවාදාත්මක මාතෘකා ගැන කථා කරන්නට මා කැමැති බව සැලකිය යුතු පිරිසක්‌ ඒ වන විට වටහාගෙන තිබුණි. මා සද්ධර්ම පුණ්‌ඩරීක සූත්‍රය නම්වූ විවාදාත්මක කෘතිය එළිදැක්‌වූයේ ඒ පුද්ගලයා මා වෙත පැමිණ ස්‌වල්ප කාලයකට පසුය. සද්ධර්මපුණ්‌ඩරීක සූත්‍රයේද ඊට පසු මා විසින් ලියන ලද ගුප්ත බුදුසමයට අදාළ විවිධ කෘතීන්හිද කල්ප විනාශය ගැන බොහෝ විස්‌තර ඇතුළත් වෙයි.

සදAධර්මපුණ්‌ඩරීකයේ කියන හැටියට දැනට වසර දස දහස්‌ ගණනකට පෙර ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් එකම භූමියක්‌ ලෙසින් පැවතුණි. එකල්හි පෙරබුදුවරුන් වහන්සේලා තුන් නමකගේ සර්වඥ ධාතු ජම්බුද්වීපයේ ලංකාවට දැන් අයිති භූමිය තුළ තැන්පත් කරනු ලැබීය. 

වරින් වර ඇතිවූ භූ කම්පන මාලාවක්‌ නිසා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉවතට තල්ලුවී ගොස්‌ ඉන්දියන් සාගරයේ හුදෙකලා දිවයිනක්‌ බවට පත්විය.

රාවණා රජුගේ කථා ප්‍රවෘත්තිය මිථ්‍යාවක්‌ නොව සැබෑවක්‌ම බව සද්ධර්ම පුණ්‌ඩරීකයේ සඳහන් වෙයි. රාවණා හුදෙකලා චරිතයක්‌ නොවේ. රාවණා යනු එක්‌තරා රාජ පරම්පරාවකට අයත් රජවරුන් ගණනාවක්‌ විසින් භාවිත කළ පරම්පරා නාමයකි. දැනට වසර විසි අටදහසකට පෙර රාවණා පරම්පරාවේ අභීත රජකෙනෙක්‌ ලංකාද්වීපය පාලනය කළේය. හේ ස්‌වකීය සුඛවිහරණය පිණිස සුවිසල් මන්දිර තුනක්‌ම තැනවීය.

තෙදබල ඇති රාවණාට එරෙහිව ඉන්දියාවේ රාම කුමරු භයානක සංග්‍රාමයක්‌ ආරම්භ කළේය. එකල රජවරු යුද්ධ කළේ සයවිධ යුදෝපක්‍රම අනුවය. සයවිධ යුද උපක්‍රමයන්ගෙන් පසුබැස්‌ම නොපිළිගත් රාවණා ඉන්දියාවෙන් පැමිණි රාම කුමරුන්ගේ හමුදා සමඟ මාරාන්තික සටනක නිරත විය. හේ පරාජය පෙනි පෙනී සටන් වැද රාම කුමරුගේ හී සරයකට ලක්‌ව මරණයට පත්විය. යම් හෙයකින් රාවණා එකල්හි පසුබැස්‌සේ නම් නැවත හමුදා සේනාංක ප්‍රතිසංවිධානය කර රාම කුමරු පැරදවීමේ හැකියාව තිබුණි. අවශ්‍ය තැනට නියමිත යුදෝපාය යෙදීමේ වටිනාකම නොදත් බැවින් රාවණා රජු පරාජය විය. එසේම රාවණාගේ වටිනා සම්පත් සියල්ල ඔහුටත් ඔහුගේ පරම්පරාවටත් අහිමි විය.

සදAධර්ම පුණ්‌ඩරීක සූත්‍රයේ එන රාවණා කථා ප්‍රවෘත්තියෙන් උගත හැකි පාඩම් ගණනාවකි. තමන්ට වඩා ප්‍රබලයකු හා මුහුණට මුහුණ සටනට යැම කිසිවිට නොකළ යුතුය. උපක්‍රමශීලීව පසු බැස ප්‍රබලයා දුර්වල වන මොහොත වන තෙක්‌ බලා සිට ස්‌වකීය ක්‍රියාන්විතය ආරම්භ කළ යුතුය. 

ලබන සතියට

නිලන්ත හෙට්‌ටිගේ

දිවයින ඇසුරිණි



රාවණා රජුගේ කථා ප්‍රවෘත්තිය මිථ්‍යාවක්‌ නොව සැබෑවක්‌ම බව සද්ධර්ම පුණ්‌ඩරීකයේ සඳහන් වෙයි. රාවණා හුදෙකලා චරිතයක්‌ නොවේ. රාවණා යනු එක්‌තරා රාජ පරම්පරාවකට අයත් රජවරුන් ගණනාවක්‌ විසින් භාවිත කළ පරම්පරා නාමයකි. දැනට වසර විසි අටදහසකට පෙර රාවණා පරම්පරාවේ අභීත රජකෙනෙක්‌ ලංකාද්වීපය පාලනය කළේය. හේ ස්‌වකීය සුඛවිහරණය පිණිස සුවිසල් මන්දිර තුනක්‌ම තැනවීය.