අගෝස්තු 01 සිකුරු කන්‍යාවට - ලග්න කිහිපයකට බලවත් අපල

ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා අගෝස්‌තු මස පළමු වැනිදා දවල් 12.28 ට කන්‍යා රාශියට මාරු වීමට නියමිතය. පුරා මාසයක කාලයක්‌ එනම් සැප්තැම්බර් මස පළමුවැනිදා දක්‌වා සිකුරු එම රාශියේ ගමන් කරනවා ඇත. කන්‍යා රාශියේ සිකුරු නීච හෙවත් දුර්වල බවට පත්වෙයි. කාමයට අධිපති සිකුරු ග්‍රහයා නීචවීම රටටත් ඔබටත් බලපාන ආකාරය මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ අටවැන්නට හෙවත් මාරක ස්‌ථානයට සිකුරුගේ පැමිණීම පොදු ජනතාවගේ සුබ සිද්ධියට ඉවහල් නොවන බව පැවසිය යුතුව තිබේ. සිකුරුගේ නිවේදනය වන පුද්ගලයින් හා ද්‍රව්‍යවලට මෙහි අහිතකර බලපෑම ඇතිවන බව පෙන්වයි.

 කාමයට අධිපති නීච වීම කාමාපරාධ ඇතිවීමේ ප්‍රවණතාවයන් පෙන්වයි. සිත් සතන්වල කාමුක බව ඉහළයැම හා නිත්‍යානුකූල නොවන ලිංගික සබඳතා බහුල වීම පෙන්වයි. කලාවට - සෞන්දර්යයට බලවත් සිකුරු සුබපල ඇති කරන නමුත් නීච සිකුරු මෙහි අනිත් පැත්ත පෙන්වනු ඇත. අනියම් සබඳතා අඹු සැමි භේද පවුල් අවුල් ස්‌ත්‍රී දූෂණ හා කාමාපරාධ බහුලවීමට බලපාන ග්‍රහ චාරයකි. උක්‌ත කාලය තුළ කුජ වක්‍රව - නීච බලය දීමද මේ තත්ත්වය තවත් නරක අතට හැරීමට හේතුවනවා ඇත.

පවට ලැඡ්ජාව හා භය නැති බව හා නොහික්‌මුණු ගති දක්‌නට ලැබේ. කම් සැපට ලොල් එම හේතුවෙන් අධික ලෙස මුදල් නාස්‌ති කරන කාලයකි. ඊර්ෂ්‍යා සහගත සතුරුකම් කරන අයද නිතර දක්‌නට ලැබෙනවා ඇත.

මහජන සෞඛ්‍යය පිළිබඳව සලකා බලන විට සමාජ රෝග, ප්‍රජනන ඉන්ද්‍රියන්ගේ රෝග, වකුගඩුවල රෝග, මෙන්ම ගබ්සාවීම් ද ඉහළ යැමට ඉඩ තිබේ. නීති විරෝධී ගබ්සා කිරීම් ගැන ද අසන්නට ලැබේ. මුත්‍රා දෝෂ, වකුගඩු හෝ ගර්භාෂයේ රෝග ඇති අය මේ කාලය තුළ වඩාත් ප්‍රවේශම් විය යුතුවේ.

චිත්‍රපට කර්මාන්තයට බාධා පවතී. චිත්‍රපට නිෂ්පාදකයින්ට නළු නිළියන්ට, රූපලාවන්‍ය ශිල්පීන්ට, රූපලාවන්‍ය ආයතන පවත්වා ගෙන යන අයට, ස්‌වර්ණාභරන වෙළෙඳුන්ට, සංගීතඥයින්ට නර්තන ශිල්පීන්ට, ක්‍රීඩකයින්ට එතරම් සුබකාලයක්‌ නොවේ. මේ මාසය තුළ ජනප්‍රිය කලා ශිල්පියෙකු හෝ ශිල්පිනියකට මාරක අපලයක්‌ ද යෙදෙනවා ඇත. දක්‍ෂ ක්‍රීඩකයින්ට අපලයි.

සෞන්දර්ය හා කලා අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද අපල පවතී. කාන්තා ඇඳුම් පැළඳුම් හා සුවඳ විලවුන් ව්‍යාපාර පහල බසී. දෙහි දොඩම් නාරං ඇපල් කෙසෙල් වැනි පලතුරු මිල ඉහළ යැමට ද ඉඩ තිබේ. එවැනි පලතුරු වගාවන්ට හානි සිදුවිය හැකිය.

සිකුරු නීච වන කාලය විවාහ මංගල උත්සව ප්‍රිය සම්භාෂණ ආදියට ද සුබ නොවේ. එහෙත් සමාජශාලා ගණිකා නිවාස, ආදියේ විවිධ අකටයුතුකම් ගැන අසන්නට ලැබෙනවා ඇත. තරුණ හා නව යොවුන් වියේ බාලක බාලිකාවන් බෙහෙවින් ප්‍රවේශම් කරගත යුතු කාලයක්‌ බව වැඩිහිටියන් හා මාපියන් අවබෝධ කර ගැනීම වැදගත් වේ.

මේ අතර අලි ඇතුන්ටද මේ අපලය බලපාන අතර අලි ඇතුන් පිළිබඳ කනගාටුදායක ආරංචි ලැබෙනවා ඇත. උත්ත කාලය තුළ කාමාශාවන් පාලනය කර ගැනීමට අධිෂ්ඨාන කර ගැනීම යහපතට හේතු වෙයි. සිකුරුගේ නීච වීම උපන් ලග්න අනුව බලපාන අකාරය දැන් බලමු.

මේෂ

මේෂ ලග්න හිමියන් අඹු - සැමි සමගිය අරක්‍ෂා කර ගැනීමට උනන්දු විය යුතුවේ. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුබ නොවේ. වියදම් ඉහළ යා හැකි බැවින් ණය තුරුස්‌ නොවීමට වග බලා ගන්න. සේවක සේවිකාවන් පිළිබඳ ගැටලු ඇති විය හැකිය. අසනීපයන් නිසා තැන්පත් මුදලක්‌ වැය වීමටද ඉඩ තිබේ. හවුල් කරුවෙකු අමනාප වීමට ඉඩ තිබේ.

වෘෂභ

පස්‌වැන්නේ සිකුරු හෙවත් ඔබේ ලග්නාධිපති නීචවීම නිසා දරුවෙකුට අපලයන් පෙන්වයි. දරුවෙකු නිසා සිත්තැවුලක්‌ ඇතිවීමටද ඉඩ තිබේ. අවිවාහක අයගේ විවාහ මංගල යෝජනා හෝ පෙම් සබඳතාවලට බාධා ඇති විය හැකිය. ව්‍යාපාර සඳහා මුදල් යෙදවීම දුරදිග බලා කළයුතු වේ. විනෝදයට නැඹුරු වීමෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වීමට ඉඩ තිබේ. විනෝදය පාලනය කර ගන්න.

මිථින

හතර වැන්නේ සිකුරු නීච වීම ගෘහ ජීවිතයට බාධා ඇති කරයි. රථවාහන ගනු දෙනුවලට සුබ නොවේ. ගෙදර ගත කරන කාලය අසතුටින් ගත කිරීමට අවස්‌ථාව ලැබේ. පවුලේ කෙනෙකුට අපලදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතුවලටද බාධා ඇතිවීමට ඉඩ තිබේ.

පවුලේ වියදම් ඉහළ යන බවද පෙනේ. විදේශ ගමනක්‌ ගැන තිබූ බලාපොරොත්තුවක්‌ කඩවීමට ඉඩ තිබේ. දරුවෙකු නිසා සිත් තැවුලක්‌ ඇතිවීමට හේතුයි. කෘෂිකාර්මික කටයුතුවලටද බාධා පවතී.

කටක

තුන්වැන්නේ සිකුරු නීචවීම උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බව පෙන්වයි. අසල්වාසීන් සමඟ කටයුතු කරන විට කල්පනාකාරී වෙන්න. අසල්වැසියෙකු හෝ සහෝදරයකු අමනාපවීමට කරුණු යෙදේ. නිතර නිතර ගමන් බිමන් යැමට සිදු උනත් ඒවායින් එතරම් ප්‍රයෝජනයක්‌ නොලැබේ. නිෂ්ඵල ගමන් හා නිෂ්ඵල වියදම් යෙදේ. ගෙදර දියුණුවට කරන කටයුතුවලට බාධා පවතී. ලිපි ලේඛනවලට අත්සන් කරන විට ප්‍රවේශම් වෙන්න.

සිංහ

ධනස්‌ථානයේ සිකුරු නීච වීම වියදම් ඉහළ යන බව පෙන්වයි. පවුලේ වියදම් බලාපොරොත්තු නොවූ ලෙස ඉහළ යැමට ඉඩ තිබේ. රැකියා හා ව්‍යාපාර සාර්ථක වන නමුදු වියදම් ද ඉහළ යන නිසා ඉතිරි කර ගැනීම දුෂ්කර වෙයි. මේ අතර කතාව නිසා පවුලේ කෙනෙකු අමනාප වීමට ඉඩ ඇත. කතා කරන විට දුර දිග බලා කතා කරන්න. වියදම් පාලනය කර ගැනීමට අධිෂ්ඨාන කර ගන්න.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයේම නීච වන සිකුරු නිසා හිතේ සතුට අහිමි වන කරුණුවලට මුහුණ පෑමට සිදුවිය හැකියි. උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක්‌ අපලයි. අනවශ්‍ය ලෙස විනෝදයට බරවීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවේ. වියදම් ද ඉහළ යන බව පෙනේ. තැන්පත් මුදලක්‌ පවා වැය කිරීමට කරුණු යෙදේ. මංගල යෝජනා හා පෙම් සබඳතාවලට බාධා පවතී.

තුලා

දොළොස්‌වැන්නේ සිකුරු දුර්වලවීම නිසා විදේශ ගමන්වලට බාධා ඇතිවීමට ඉඩ තිබේ. දුරගමන්වලදී කරදර හා පාඩු ඇතිවීමට ඉඩ තිබෙන කාලයක්‌ බව පෙන්වයි. ඉතා සාර්ථක කරගෙන ආ කටයුතුවලට බලාපොරොත්තු නොවූ බාධා ඇති විය හැකියි. ගෙදර දියුණුවට කරන කටයුතු අතරමග නතර කරන්නට සිදුවේ. පසුගිය කාලයේ ගනු ලැබූ තීරණයක්‌ ගැන පසුතැවිල්ලක්‌ ඇති විය හැකියි. මවුපින්ටද තරමක්‌ අපලදායක කාලයකි.

වෘශ්චික

ලාභස්‌ථානයේ සිකුරු දුර්වලවීම ව්‍යාපාරවල යෙදෙන වෘශ්චික ලග්න හිමියන්ගේ ආදායම් අඩුවීමට හේතු විය හැකියි. වැඩිමහල් සහෝදරයකුට අපලදායකයි. හිතවත් මිතුරෙකු හෝ මිතුරියක අමනාප වීමට ඉඩ ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවද පෙනේ. බිරිඳ හෝ සැමියාගේ රැකියාවල ගැටළු පෙන්වයි. විවාහ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්‌ථීර කර ගැනීමට සුදුසු කාලයක්‌ නොවේ.

ධනු

කර්මස්‌ථානයේ සිකුරු නීච වීම නිසා රැකියා හෝ ව්‍යාපාර අංශවල ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. රැකියා ස්‌ථානයේ අසතුටුදායක සිදුවීම්වලට මුහුණපෑමට සිදුවේ. උසස්‌ කෙනෙකු අමනාපවීමට කරුණු යෙදේ. රැකියා දියුණුවට බාධා පවතී. තනතුරේ හෝ තත්ත්වයේ ගෞරවයට හානි සිදුවිය හැකි නිසා පැවැත්ම ගැන කල්පනාකාරී වෙන්න. ධනු ලග්න හිමියන් ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීම මැනවි.

මකර

මකර ලග්න හිමියන්ට සිකුරු මාරුව බරපතළ ගැටලු ඇති නොකරයි. නමුත් උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක බාධා පවතී. උවමනාවට වඩා විනෝදයට බරවීම පෙම් සබඳතා වැනි දේ නිසා අධ්‍යාපනය කටයුතු අඩාලවීමට ඉඩ තිබේ. අන් අයගේ දරුවන්ට තරමක අපල පෙන්වයි. දරුවෙකුගේ විදේශ ගමනකට බාධා පවතී. ආගම භක්‌තිය අඩුවන කාලයකි. මුදල් ආයෝජනය කරන විට දුර දිග බලා කටයුතු කරන්න.

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ අටවැන්නට සිකුරු මාරුවීම තරමක්‌ අපලදායකයි. ගෘහ ජීවිතයේ සතුට අහිමි වන කාලයක්‌ විය හැකියි. අඹු - සැමි සමගියට බාධා ඇති වීමට ඉඩ තිබේ. විවාහ සහකරුට අපලයි. වාහන ගනුදෙනුවලට සුබ කාලයක්‌ නොවේ. දෙවි දෝෂ ඇතිවන කාලයකි. මේ නිසා දෙවියන්ට වූ භාරහාර නිදහස්‌ කිරීමට අමතක නොකරන්න. ගෙවල් ඉඩම්වල දියුණුවට කරන කටයුතුවලට බාධා පවතී.

මීන

හත්වැන්නේ සිකුරු නීචව ගමන් කරන කාලය, විවාහ බාධා ඇතිවීමට ඉඩ තිබේ. අවිවාහක තරුණ තරුණියන් ගේ මංගල යෝජනා පිළිබඳ කටයුතු තරමක්‌ කල්දැමීමට සිදුවිය හැකියි. හවුල් ව්‍යාපාරවලට බාධා පවතී. හවුල් කරුවෙකු අමනාප විය හැකියි. බිරිඳ හෝ සැමියාට අපල හෝ අඹු - සැමි සමගියට බාධා පවතින කාලයක්‌ බවද පෙනේ. පවුලේ සමගිය රැක ගැනීමට වගබලා ගන්න.

වැඩි විස්‌තර ස`දහා

0771234313/0352232084

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්



ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා අගෝස්‌තු මස පළමු වැනිදා දවල් 12.28 ට කන්‍යා රාශියට මාරු වීමට නියමිතය. පුරා මාසයක කාලයක්‌ එනම් සැප්තැම්බර් මස පළමුවැනිදා දක්‌වා සිකුරු එම රාශියේ ගමන් කරනවා ඇත. කන්‍යා රාශියේ සිකුරු නීච හෙවත් දුර්වල බවට පත්වෙයි. කාමයට අධිපති සිකුරු ග්‍රහයා නීචවීම රටටත් ඔබටත් බලපාන ආකාරය මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.