සියලු රෝග නිවාරණයට මුල සිට භාවනාවක්‌

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

තවත් ඇති විශේෂත්වයක්‌ නම් එක්‌ එක්‌ වයස්‌වලදී ඇතිවන ග්‍රහ අපල රෝග උපද්‍රව ආදිය ප්‍රකාශ කර තිබීමයි. ඒවාට කළ යුතු ප්‍රතිකර්ම ද පූජා කළ යුතු පූජා විධි ද දක්‌වා තිබීම විශේෂයි. නාඩි වාක්‍ය කියවන අවස්‌ථා කීපයකදීම මම ද ඊට සහභාගි වීමි. ඒ සෑම අවස්‌ථාවකදීම ඔහු විසින් කියන ලද ප්‍රකාශන සත්‍ය ලෙසට ප්‍රකාශ වූ බව මට පසක්‌ විය. සමහර විස්‌තර ඇදහිය නොහැකි තරම් පුදුම සහගත වූ අතර පසුව අදාළ අයගෙන් ඒ පිළිබද විමසූ විට අප විශ්මයට පත් කළ ඒ සිද්ධි සමුදාය සත්‍ය බව ඔවුහු ප්‍රකාශ කළහ.

තමන් ඩී. එස්‌. සේනානායක මහතාට ද නාඩි වාක්‍ය කියෑවූ බව ද එකී නාඩි වාක්‍ය මඟින් සතුන් පිට යැමෙන් වළකින ලෙස උපදෙස්‌ දී තිබූ නමුත් ඒ මහතා උපදෙස්‌ පිළි නොගෙන ක්‍රියා කිරීම නිසා අශ්වයෙක්‌ පිටින් වැටී මරණයට පත් වූ අයුරු සිහිපත් කළේ එය සාමාන්‍ය සිදුවීමක්‌ ලෙසටය. මහාලිංගම් මහතා ප්‍රභූ පන්තියේ අයට නාඩි වාක්‍ය ඇසුරෙන් අනාගතය පිළිබඳව විස්‌තර කළ අවස්‌ථාවන් බොහොමයක්‌ ඒ මහතා මා සමග කීය.

තමන් නිතරම බණ්‌ඩාරනායක පවුල පිළිබදව නාඩි වාක්‍ය ප්‍රකාශ කළ බව කී මහාලිංගම් මහතා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව වන බවට පැවසුවේ ඇය දොළොස්‌ වැනි වියේ පසුවන අවස්‌ථාවේදී බව ද මෙම ප්‍රකාශය කළ විට චන්ද්‍රිකා දැරිය ("පොයි...පොයි..) (බොරු...බොරු) කියමින් තමන්ට විහිළු කළ ආකාරය ද මහාලිංගම් මහතා සිහිපත් කළේය. බණ්‌ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව මුළු ලෝකයේම ආදරය දිනාගන්නා නායිකාවක්‌ වන බව ද (මේ විස්‌තර කියවන සමයේ ඇය දේශපාලනය ගැන අපේක්‌ෂාවක්‌ හෝ බලාපොරොත්තුවක්‌ නොතිබුණු බව සටහන් කළ යුතුය.) තමන් ප්‍රකාශ කළ බව ද මහාලිංගම් මහතා කීය. රාජ්‍ය නායකත්වයට පත්ව කෙටි කලකින් තරුණ කැරැල්ලක්‌ ඇති වන බව ද එතුමියගේ ජීවිතයට හානි සිදුවිය හැකි බව ද තමන් ප්‍රකාශ කළ බව කී ඒ මහතා ඊට කළ යුතු පුද පූජා ද විස්‌තර කළ බව පැවසීය. එහෙත් බලයට පැමිණීමෙන් පසු එතුමිය පුද පූජා තැබීම අමතක කළ බව ඔහු කීය. නාඩි වාක්‍යවල කියා තිබූ පරිදිම තරුණ කැරැල්ලක්‌ ඇති වී එතුමියගේ ජීවිතයට හානි වීමට ද ඉඩ තිබුණි. ඇදිරි නීතිය පනවා තරුණ පිරිස මර්දනය කළ මැතිනිය වහාම තමන් හමුවීමට පැමිණෙන ලෙස ජීප් රථයකින් පැමිණි හමුදා නිලධාරීන් පිරිසට දන්වා ඇත.

ඒ මොහොතේම අරලියගහ මන්දිරයට ගොස්‌ මැතිනිය හමුවීමෙන් පසු නාඩි වාක්‍යයේ කියා තිබූ පුද පූජා සියල්ල එදිනම රාත්‍රියේම කළ යුතු යෑයි ඇය දන්වා සිටි බව ද මහාලිංගම් මහතා කීය.

ඒ අනුව එදිනම පුද පූජා සියල්ල සූදානම් කොට ජින්තුපිටියේ කෝවිලේ අයියර්වරුන් සමග, රාත්‍රි 8.00 ට පමණ හමුදා වාහන ආරක්‌ෂාව මධ්‍යයේ හොරගොල්ල වලව්වට ගොස්‌ "ආයුර්හෝමම් - නවග්‍රහ හෝමම් ඇතුළු පූජාවන් පැවැත් වූ බව ද ඒ පූජාවන්ගේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඇය දීර්ඝායුෂ විදිනු ඇතැයි ද ඒ මහතා කීය. (මෙම සිද්ධිය තවත් නාඩි වාක්‍යයකින්ම තහවුරු වී තිබීමය. ඔස්‌ටේ්‍රලියාවේ පදිංචි සී. දයාරත්න නම් මහතකුගේ නාඩි කියෑවීමේදී (1959) රටේ අනාගත නායකයා වශයෙන් කාන්තාවක්‌ පත්වන බව ද තරුණ පිබිදීමක්‌ ඇතිවන බව ද එම කාන්තාව ලෝක පූජිත කාගෙත් ආදරය දිනාගන්නා කාන්තාවක්‌ බව ද ප්‍රකාශ කොට තිබිණි.)

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනිsය ඡන්දයට ඉදිරිපත් වීමට පළමු මගේ හිතවතකු විසින් සප්ත ඝෘෂි නාඩි වාක්‍ය කියවන අවස්‌ථාවේදී පවා රටේ අනාගත නායකත්වයට කාන්තාවක්‌ පත්වන බව ද ඇය විශිෂ්ට ජයග්‍රණයක්‌ ලබන බව ද විස්‌තර කර තිබිණි.

ඒ වනවිට චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනිය මහජන පක්‌ෂයේ නායිකාව වූ අතර, සිරිමා බණ්‌ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායිකාව වශයෙන් කටයුතු කළාය. අනුර බණ්‌ඩාරනායක මහතා එක්‌සත් ජාතික පක්‌ෂයට බැදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් කටයුතු කළේය.) පසුව චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට බැදුන අතර, පක්‌ෂය විසින් මීළග ජනාධිපති අපේක්‌ෂිකාව ලෙස චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය තෝරා ගැනිණි. ඉන්පසු ඇයගේ කේන්දරය නාඩි වාක්‍ය කියෑවීම සදහා බැංගලෝරය වෙත යෑවූ බව ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු පුවත්පතකට ලියූ ලිපියක සදහන්ව තිබිණි.

වරක්‌ මහාලිංගම් මහතා සමග සුහද සාකච්ඡාවක නිරතව සිටින අතර, සෙසු අයගේ මරණය ගැන විස්‌තර කියන ඔබ ඔබගේ මරණය සිදුවන දිනය හා කාලය දන්නේදැයි මම විමසීමි.

ඒ මහතා සිනාසී මට පිළිතුරු දුන්නේ මෙසේය.

"මගේ වයස දැන් අවු. 80 යි. මං මැරෙන දිනය මං දන්නවා. තව අවුරුදු හතරකින් මගේ මරණය සිදුවෙනවා. තව මට ආයුෂ තිබෙන්නේ අවුරුදු හතරයි".

"ඉතින් ඒක දීර්ඝ කර ගැනීමට ක්‍රම නැද්ද? පුද පූජා එහෙම තියල ආයුෂ දීර්ඝ කර ගැනීමේ ක්‍රම එහෙම නැද්ද?" මම ඇසීමි.

"මගේ නාඩි වාක්‍යයේ එහෙම ක්‍රමයක්‌ කියල තියෙනව. අවුරුදු අසූ හතරට පෙර ඉන්දියාවේ එක්‌තරා ගංගා දෙකක්‌ එක්‌වන තැනේදී (නම් කී නමුත් මා ඒවා සටහන් කරගෙන නැත) නා පිරිසිදු වී ඒ අසලම ඇති ශිව කෝවිලට ගොස්‌ යාග හෝම පැවැත්වුවොත් මට තව ජීවත් වෙන්න පුළුවන්. ඒත් නාඩි වාක්‍යයේම කියල තියෙනවා ඒ පූජාව මට කරන්න වෙන්නේ නැහැ කියල.

මහාලිංගම් මහතා සමග සබදතාවන් ඊට පසු පැවැත්වීමට මට අවස්‌ථාවක්‌ නොලැබිණි. හදිසියේම මහාලිංගම් මහතා අභාවප්‍රාප්ත වූ බව ද ඒ මහතාගේ දේහය බානි රේමන්ඩ් ආයතනයේ අවසන් ගෞරවය දැක්‌වීම සදහා තබා ඇති බවට ලද ආරංචිය අනුව මම එම ආයතනය වෙත ගියෙමි. ඒ මහතාගේ දියණිය හා බෑණනුවන් හමුවී විවේකය ලද අවස්‌ථාවක මහාලිංගම් මහතා පුද පූජා පැවැත්වීම සදහා යැමට සිටි අයුරු මම සිහිපත් කළෙමි

ඔවුන් ද කියා සිටියේ තම පියා මරණය සිදුවීමට පෙර ඉන්දියාවට යැමට පාස්‌පෝට්‌ සහ වීසා සූදානම් කර තිබූ අතර පූජා පැවැත්වීමට ඉන්දියාවේ උපන් ගමේම කටයුතු සූදානම් කර තිබූ බවයි. එහෙත් එකී පූජා පැවැත්වීමට පළමු තම පියා මියගිය බව ඇය පැවසුවාය

(මෙම පූජාව කිරීමට තමන්ට අවස්‌ථාව නොලැබෙන බවත් ඊට පළමු තමන් මියයන බවත් මහාලිංගම් මහතා මා සමග පැවසූ අවස්‌ථාව සිහිපත් කරනු කැමැත්තෙමි.)

මහාලිංගම් මහතාගෙන් නාඩි වාක්‍ය විස්‌තර කියවා ගත් බොහෝ ධනවත් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් රැසක්‌ ද ඒ මහතාගේ දේහයට ගෞරවය දැක්‌වීමට බානි රේමන්ඩ් ආයතනයට පැමිණ සිටිනු මම දුටුවෙමි.

ඒ සියලු දෙනාගේම ආධාරය සහ සහයෝගය ඇතිව මහාලිංගම් මහතාගේ දේහය ඒ මහතා උපන් ගමට (ඉන්දියවට) ගෙන යැම සදහා ආධාර උපකාර කළ බව සටහන් කළ යුතුව ඇත. මහාලිංගම් මහතාගෙන් නාඩි වාක්‍ය අසා පුද පූජා නොකර බොහෝ දෙනා (ධනවතුන් හා දේශපාලඥයන්) තමන්ට නාඩි වාක්‍යයෙන් ප්‍රකාශ කර තිබූ පුද පූජා හා වත්පිළිවෙත් කඩිනමින් කළ බවට ආරංචි ද මා වෙත ලැබුණි.

මහ නාහිමියන් ඉන්දියාවේදී පුරුදු පුහුණු කළ භාවනා ක්‍රමය

මහ නාහිමියන් ඉන්දියාවේදී පුරුදු පුහුණු කළ භාවනා ක්‍රමය උන්වහන්සේ විසින්ම කෙටියෙත් පොතක සටහන් කර තිබිණි. සාකච්ඡා විමසීම අතරතුරදී මෙකී පොතේ පිටපතක්‌ මා වෙත බලංගොඩදී ලබාදුන් අතර වැඩි දෙනකුට එය කියෑවීමට අවස්‌ථාව ලබාදීමට හැකි නම් මැනවයි උන්වහන්සේ පැවසූහ. ඒ අනුව උන්වහන්සේගේ ඉල්ලීම ඉටුකරනු වස්‌ මේ සමග එකී භාවනා ක්‍රම සහ උන්වහන්සේගේ අත් අකුරින්ම ලියෑවූ සටහන ද පරිවර්තනය කළ සියලු සටහන් ද දක්‌වා ඇත. සිංහලයට පරිවර්නතය කළේ නන්දා අයිරාංගනී රත්නායක මහත්මිය විසින් බව සිහිපත් කරනු කැමැත්තෙමි. නාහිමියන් සමග කරන ලද සාකච්ඡාවන්ට අතිරේකව අවශ්‍ය කරුණු උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත්කරන ලද ලිපි ලේඛන ආශ්‍රයට ගන්නා ලෙසට මට දෙන ලද වාචික අවසරය ද ගෞරව නමස්‌කාර පූර්වකව සටහන් කරමි.

භාවනා කිරීම

1) සුඛාසනයෙන් හෝ පද්මාසනයෙන් වාඩි වෙන්න.

ඔබත් බිත්තියත් අතර අඩියක්‌ පමණ පරතරයක්‌ තිබෙන පරිදි උතුරු දෙසට හැරී වාඩි වෙන්න. රුපියලේ කාසියක ප්‍රමාණය ඇති කළු පැහැති තිතක්‌ (ලපයක්‌) සාදා එය ඔබේ ඇසට හරි කෙලින් සිටින ලෙස බිත්තියේ එල්ලන්න.

හරි කෙළින් වාඩි වී කළු ලපය දෙස වුවමනාවෙන් බලන්න. ඇස වෙහෙසවන පරිදි නොව සාමාන්‍යයෙන් බලන ලෙස ඇස පිය නොහෙළා බලන්න. කඳුළු ගැලුවොත් කඳුළු ඉවත් වන ලෙස ඇස පිය හෙළා නැවත කළු ලපය දෙස බැලීම අරඹන්න. මේ ලෙස විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ අතර කාලයක්‌ දිනපතාම කරන්න. විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ දක්‌වා වේලාවක්‌ කඳුළු නොසලා ඇසිපිය නොහෙළා එක දිගට බලා සිටිය හැකි වුවහොත් හෝ ඔබේ ඇස්‌ දෙක හා කළු ලපය අතර නොකැඩුණු ආලෝක ධාරාවක්‌ ඇති බව ඔබට පැහැදිලි වුවහොත් හෝ කළු ලපය මත ඇති ආලෝකය නිසල වුවහොත් හෝ ඔබේ ව්‍යායාමය සම්පූර්ණ වී ඇති බව ඔබට පිළිගත හැකිය.

මූලික ව්‍යායාමය

මහපටඟිල්ලෙන් දකුණු නාස්‌ පුඩුව වසන්න. වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ගන්න. වාතය ඇතුළත නොරඳවා ගෙන එක්‌ වරම දකුණු නාස්‌ පුඩුවෙන් පිට කරන්න. නැවත වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ගෙන එය දකුණු නාස්‌ පුඩුවෙන් පිට කරන්න. මේ ලෙස හත් වරක්‌ වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ගෙන ඇතුළත රඳවා නොගෙන දකුණු නාස්‌ පුඩුවෙන් හුස්‌ම පිට කරන්න.

මෙය සෙමින් ක්‍රම ක්‍රමයෙන් කරන්න. ඉක්‌මනින් නොකරන්න. ඔබට හැකි පමණ මේ ව්‍යායාමය කරන්න. එහෙත් අපහසුතාවෙන් නොකරන්න. ඔබට අපහසුතාවක්‌ නොදැනේ නම් මේ ව්‍යායාමය 28 වතාවක්‌ දක්‌වා (ආශ්වාස 14, ප්‍රශ්වාස 14) දක්‌වා වැඩිකර ගත හැකිය. මේ ව්‍යායාමය කරද්දී හුස්‌ම ඇතුළත රඳවා නොගත යුතුය. මේ ව්‍යායාමය අඩුම වශයෙන් දිනකට 3 හෝ 4 වතාවක්‌ ආහාර ගත් විගස හැර ඕනෑම වේලාවක කළ හැකිය. හත්තයෝග ප්‍රදීපිකාවේ මේ ව්‍යායාමය භාෂ්රික යයි නම් කර ඇත. මේ ව්‍යායාමය සතියක්‌ කරන්න.

2) දැන් ප්‍රාණයාමය ආරම්භ කරන්න.

ප්‍රාණයාමය කළ යුත්තේ අලුයම් වේලෙහි හා හිරු බැස යන සවස්‌ භාගයේදීය.

ව්‍යායාමය

මෙම ව්‍යායාමය කොටස්‌ තුනකින් සමන්විතය. හුස්‌ම ගැනීම, රඳවා ගැනීම හා හුස්‌ම හෙළීම යනුවෙනි. දකුණු නාස්‌ පුඩුව මහපටඟිල්ලෙන් වසා ගන්න. ඔබේ පෙනහළු වාතයෙන් පිරෙන තුරු වම් නාස්‌ පුඩුවෙන් ඉතා සෙමින් හුස්‌ම ඇතුළට ගන්න. මේ ලෙස තත්පර පහක්‌ හුස්‌ම ඇතුළට ගෙන ඉන්පසුව තත්පර දහයක්‌ හුස්‌ම ඇතුළත රඳවා ගන්න. මෙසේ කිරීමෙන් තත්පර පහක්‌ ඇතුළත රඳවා ගැනීමත් තත්පර පහක්‌ පිටත හෙළීමත් සිදුවේ. මෙය ඔබේ ව්‍යායාමයේ පළමු අවධියයි. ඔබ ආශ්වාස කරන විටත්, ප්‍රාශ්වාස කරන විටත් "ඕම්" ශබ්දය ඒ තුළින් නිපදවීම ගැන සිතමින් මෙය කරන්න. ඔබ තුළින් "ඕම්" ශබ්දය නිකුත් වේ දැයි සොයා බැලීමට උත්සාහ කරන්න. ඔබේ සිත හැකිතාක්‌ දුරට එම ශබ්දය කෙරෙහිම රඳවා තබා ගැනීමට උත්සාහ කරන්න. තරමක පුහුණුවීමකින් පසුව ඔබට පළමු අවධිය සම්පූර්ණ කළ හැකි වේ. ඉන් පසුව දෙවැනි අවස්‌ථාවට යැමට උත්සාහ කරන්න.

3) දෙවැනි අවධිය

හුස්‌ම ගැනීම, රඳවා ගැනීම, හුස්‌ම හෙළීම සඳහා ගතකරන කාලය වැඩිකරන්න. හුස්‌ම ගැනීමට තත්පර හතේ සිට දහය දක්‌වා කාලයක්‌ ගත කරන්න. ඇතුළත රඳවා ගැනීමට තත්පර පහළොවක්‌ පමණ ද හුස්‌ම හෙළීමට තත්පර හතේ සිට දහය දක්‌වා කාලයක්‌ ද ගතකරන්න. කිසිම විටෙක ඉක්‌මන් නොවන්න. ක්‍රම ක්‍රමයෙන් කාලය වැඩි කරන්න. සති දෙකක පමණ කාලයකදී ඔබට මේ අවස්‌ථාවන් සම්පූර්ණ කර ගත හැකි වනු ඇත. "ඕම්" ශබ්දය කෙරෙහි සිත සමාධි ගත කිරීම (රඳවා තබා ගැනීම) ප්‍රාණයාම ව්‍යායාම්වල සෑම අවධියකදීම අවශ්‍යය.

4) තෙවැනි අවධිය

ක්‍රමික පුහුණුවීම් මගින් අවශ්‍ය කාලය වැඩිකර ගැනීමේ යෙදෙන්න. ඔබට තත්පර දහයේ සිට තත්පර පහළොවක්‌ අතර කාලයක්‌ තුළ දී හුස්‌මගත හැකි නම් තත්පර පහළොවේ සිට විස්‌ස අතර කාලයක්‌ හුස්‌ම රඳවා ගත හැකි නම් ඔබ තෙවැනි අවධිය ද සම්පූර්ණ කළ බව සැලකිය හැකිය. දෙවැනි අවධිය සම්පූර්ණ කර සතියකින් හෝ බොහෝ විට සති දෙකක්‌ තුළ දී ඔබට තෙවැනි අවධිය සම්පූර්ණ කළ හැකි වෙයි. මේ අවධියේ ඔබේ නහරවල යම් සෙලවීමක්‌ ඔබට දැනෙනු ඇත. එහෙත් නොනවත්වාම මේ ව්‍යායාමයේ යෙදෙන්න.

5) සිවුවැනි අවධිය

හුස්‌ම ගැනීමට, රඳවා ගැනීමට, හෙළීමට ගතකරන කාලය තවදුරටත් වැඩි කරන්න. හුස්‌ම ගැනීමට තත්පර තිහක කාලයක්‌ ද රඳවා ගැනීමට විනාඩි එකක (තත්පර හැටක) කාලයක්‌ ද හුස්‌ම හෙළීමට තත්පර තිහ දක්‌වා කාලයක්‌ ද ගත කරන්න. මෙවැනි ප්‍රාණයාමයක්‌ කිරීමට විනාඩි දෙකක පමණ කාලයක්‌ ගත වේ. ඔබට හුස්‌ම ගැනීමට තත්පර තිහකුත් රඳවා ගැනීමට විනාඩි එකකුත් හෙළීමට තත්පර තිහකු=ත් ගත කළ හැකි වූ විට ඔබ මේ අවධියත්a සම්පූර්ණ කළ බව සැලකිය හැකිය.

ඔබ මේ සියලු අවධි ඔබේ ස්‌ථිර හා විධිමත් පුහුණුවීම් මගින් සම්පූර්ණ කළ විට ඔබට ඔබ තුළම පුදුම සහගත වෙනස්‌වීමක්‌ දක්‌නට ලැබෙනු ඇත. ඔබේ මුහුණ පැහැපත් වනු ඇත. ඔබේ චරිත ස්‌වභාවයේ ආකර්ෂණ ශක්‌තියක්‌ ඇතිවනු ඇත. ඔබේ කටහෙඩේ අනුන් වසඟ කර ගැනීමේ ශක්‌තියක්‌ ඇති වනු ඇත.

ඔබේ දෙනෙතෙහි ආකර්ෂණ ශක්‌තියක්‌ දිස්‌වනු ඇත. මිනිසුන් ඔබ කෙරෙහි වසඟ වනු ඇත. දැන් ඔබට අන් අය මෝහනය කළ හැකි වනු ඇත. ලෙඩ රෝග සුව කිරීමේ කලාව (Art of healing) ඔබට ප්‍රගුණ කළ හැකි වනු ඇත. මේ ව්‍යායාම් කරන අතරතුර ඔබේ ආහාර පුරුදු ගැන සැලකිලිමත් විය යුතුය. කිරි මෝරු (Butter - Milk) සහ පලතුරු වැඩි වශයෙන් ගත යුතුය. ගම්මිරිස්‌, තෙල් කෑම, මස්‌, ඇඹුල් වර්ග වලින් වැළකිය යුතුය. හැකිතාක්‌ දුරට බ්‍රහ්මචාරීව විසිය යුතුය.

උසස්‌ ව්‍යායාම

1 වැනි ව්‍යායාමය :-

ඔබේ මේසය ඉදිරිපිට පුටුවක වාඩිවන්න. ඔබ ඉදිරියෙන් කැඩපතක්‌ තබාගෙන ඔබේ ඇහිබැම දෙස බලා සිටින්න. ඇසිපිය නොහෙළා බලා සිටින්න. එහෙත් ඔබේ ඇස්‌ දෙස නොබලන්න. ඇසට කඳුළු එන විට ඒවා ඉවත් වන සේ ඇසිපිය හෙළා නැවත බලා සිටින්න. ඔබට ඇසිපිය නොහෙළා ඇහිබැම දෙස විනාඩි විස්‌සක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ බලා සිටිය හැකි නම් මේ ව්‍යායාමය සම්පූර්ණ කළ ලෙස සලකන්න.

ඔබ මීට පෙර කළ ව්‍යායාමය සම්පූර්ණ කර තිබේ නම් මේ ව්‍යායාමය සම්පූර්ණ කිරීමට ඔබට ගත වන්නේ ටික දිනකි. සඳ ඇති රැයක සඳ දෙස බලා සිටීමෙන් හෝ ඔබට මේ ව්‍යායාමය සම්පූර්ණ කළ හැකිය. මේ ව්‍යායාමය මගින් ඔබේ ඇස්‌ පෙනීම දියුණු වේ. ඔබේ ඇස්‌වල ආකර්ෂණ ශක්‌තියක්‌ (අනුන් තමා වෙත ඇද ගැනීමේ ශක්‌තියක්‌) ඇති වේ.

ලබන සතියට

බදුල්ලේ මෛත්‍රී රත්නායක

දිවයින ඇසුරිණි



මහ නාහිමියන් ඉන්දියාවේදී පුරුදු පුහුණු කළ භාවනා ක්‍රමය උන්වහන්සේ විසින්ම කෙටියෙත් පොතක සටහන් කර තිබිණි.