අපායට හෝ දෙව්ලොවට යන පාර කියන වියට්‌නාමයේ මකරාගේ ගුහාව

ලෙනක්‌ දුටුවොත් ඒකට රිංගලා බලන්නත් කන්දක්‌ දුටුවොත් ඒකට නැගලා බලන්නත් කාට වුණත් හිතෙනව. ඒකෙ වැරැද්දක්‌ නෑ. වැඩේ තියෙන්නේ ඒකට ගිහිං අතර මං වෙන එකයි. මිsනිසුන්ට පුදුම ආශාවක්‌නෙ තියෙන්නෙ. ඇතැම් විට ඒවායේ තියෙන්නෙ මොනවද කියල බලන්න හරි එහෙම නැත්නම් ගවේෂණාත්මක අදහසක්‌ වෙන්නත් පුළුවන්.

පහුගියදා තායිලන්තයේ චියෑංග් රායි පළාතේ තමිග් ලූඅන්ග් ගුහාවට ඇතුළු වී චාරිකාවකට ගිය කුඩා පාපන්දුකරුවන් හා ඔවුන්ගේ පුහුණුකරුට සිදුවුණේ එහි සිරගත වෙන්නයි.

මෙතරම් දිගු නැති වුවත් තවත් මෙවැනි මහජන ආකර්ෂණය දිනා ගත් ලෙන් ගුහා අග්නි දිග ආසියාතික රටවල දක්‌නට ලැබෙනවා. කඳු ශිඛරයන් තුළින් වසර මිලියන ගණනක්‌ තිස්‌සේ වේගයෙන් ඇදී යන වායු ධාරා නිසා මෙම ගුහා නිර්මාණය වෙමින් පැවතුන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

එවැනි අද්භූත හැඟීමක්‌ ඇති කරන ගුහා පරිශ්‍රයක්‌ මැලේසියාවේ දක්‌නට ලැබෙනවා. එය විශාල කඳුවැටියක (limestone hill) ස්‌වාභාවිකව හුණු ගලින් සැදුනු මහා අඳුරු ගුහාවක ඇති දේවස්‌ථානයක්‌. මුරුගන් දෙවියන්ගේ දැවැන්ත ප්‍රතිමාවක්‌ එම ලෙනට ඇතුළු වන තැනම ස්‌ථාපිතව තියෙනවා. එය කොතරම් උස ද කිවහොත් එතන සිට පහළ බැලුවාම පහළ කුරුමිට්‌ටන්ගේ දේශයක්‌ ලෙසයි දිස්‌වෙන්නේ. ඉහළට නැඟීමට පියගැට 200 කට ආසන්න ප්‍රමාණයක්‌ සකස්‌ කර තිබෙනවා. පියගැටවලට අංක යොදා ඇත්තේ කොපමණ පියගැට සංඛ්‍යාවක්‌ නැඟ යා හැකිදැයි වන්දනා කරුවනට දැන ගැනීමටයි. ඇතැමුන්ට එහි මුදුනට යා ගත නොහැකියි.

කාලාන්තරයක්‌ තිස්‌සේ ඛාදනයට ලක්‌වී ඇති ලෙනෙහි උස අඩි 60 කට වැඩි තරම්. දිsගින් දිගටම දෝනාවක මෙන් ගමන් කළ හැකි මේ ලෙනෙහි තැනින් තැන හින්දු ආගමික ප්‍රතිමා අඹා තිබෙනවා. ගිරි ශිඛරයේ ඉහළින් ඇති විවරයකින් හිරු එළිය ඒ තුළට කාන්දු වන විට කෙනෙකුට සිතෙන්නේ තමා පොළොව යට අද්භූත ලෝකයකට පිවිසුණා යයිs සිතෙන බවක්‌. ඒ අතර එහා මෙහා පියාඹන බටු වවුලන් එම අත්දැකීමට එක්‌ කරන්නේ අද්භූත බවක්‌.

හැබැයි මේ ගුහාවේදී නම් සංචාරකයන් අතරමං වීමක්‌ නම් වෙන්නේ නැහැ. පිවිසුණු තැනින්ම ආපසු පිටවිය හැකියි. මෙය වවුලන් නිතර ගැවසෙන නිසා මෙයට බටු ගුහාව යයි න්ම්කර තිබෙනවා.

අනික්‌ ගුහාව ඇත්තේ මියන්මාරයේ. ගුහාව පිහිsටා ඇත්තේ විශාල කඳුවැටියක. කන්දක්‌ කිව්වාට ඒක ඇත්තෙන්ම මහා ගුහාවක්‌ කීවොත් තමයි වැඩිය හරි. එහි ඇති පඩිපෙළ දිගේ අපි නගින්න පටන් ගත්තේ කළුව කපා එළිය වැටෙන ඉරිදා උදෑසනක පාන්දර ජාමෙ. දකුණු පැත්තෙන් මහා වගුරු බිමක්‌. ඉමක්‌ කොනක්‌ පෙන්නෙ නැති ගානයි. සිරස්‌ අතට විහිදී ගිය ලා නිල් කඳුපේළියෙන් ඒක නිමා වුණේ. මේ ගුහාව නම් කරලා තියෙන්නෙ පින්ඩයා Pindaya ගුහාව කියලයි. ෂාන් ප්‍රාන්තයේ කලව් නගරයට උතුරින් සැ 45 ක්‌ පමණ දුරින් පිහිටලා තියෙන්නේ. එය අඩි 7752ක්‌ උස කඳුවැටියක්‌.

මෙතැනට එන්න පාර දිගේ එන කොට අපි දැක්‌කේ කඳු වැටියේ බෑවුමේ ඉදි කරලා තිබුණු අලංකාර මාලිගා පරිශ්‍රයක්‌. දොරටුවේ ඉඳල ඇතුළට යන්න පඩිපෙළක්‌ තිබුණත් විදුලි සෝපානයක්‌ තිබුණත් ඒක ක්‍රියාකරු තාම නිදි. පිවිසුම් දොරටුවට වම් පැත්තේ දැවැන්ත මකුළුවෙකුගේ රුවක්‌ නෙළලා තියනව. ඊට මීටර් දෙක තුනක්‌ ඈතට වෙන්න කුමාරයෙක්‌ දුනු හී මාන ගෙන ඉන්නව අර මකුථවා දිහාට.

මේ ප්‍රතිරූප මේ ස්‌ථානය පිළිsබඳව මියන්මාර් ජනතාව තූළ පවතින අපූරු පුරාවෘත්තයක්‌ තියෙනව. එකල සිටි රාජකුමාරිකාවන් සත් දෙනෙක්‌ මේ කඳු ප්‍රාන්තය පහළ වනාන්තර මධ්‍යයෙහි ඇති පොකූණකට සිත්සේ දිය නෑමට එනව. ඔවුන් රාත්‍රියෙ ගුහාවට යනව. ඒත් මේ ගුහාව දැවැන්ත මකුළුවෙකුගේ වාසභවනයක්‌ බව ඔවුන් දැන සිටියේ නැහැ. මකුළුවා දුටු කුමාරිකාවන් මර බියෙන් තැති ගෙන විලාප නගනව. මේ අතර එතැනින් ගිය තරුණ රාජ කුමාරයෙක්‌ එම විලාප හඬ අසා තතු විමසා තම දුන්නෙන් විද මකුළුවා මරා කුමාරිකාවන් මරණයෙන් ගලවා ගන්නව.

ගුහාව ඇතුළට ඇවිද ගියාමයි දුටුවෙ එය ඉතා විශාල ඉඩක්‌ ඇති එකක්‌ බව. විදුලි ආලෝකයෙන් දිදුළන සියයක්‌ බුදු පිළිම එහි ශාන්ත ලෙස වැඩ ඉන්නව. ඇතුළ හරියට වංකගිරියක්‌ වගේ. හුදකලාව ගියොත් තරමක්‌ බයක්‌ හිතෙන තරම්.

තවත් අපූරු ගුහාවක්‌ තියනව වියට්‌නාමයෙ. උතුරු වියට්‌නාමයෙ තියනව හැවොලොන් බොක්‌ක කියල සංචාරකයන්ගෙ ආකර්ෂණයට ලක්‌ වූ විශාල ජලාශ පරිශ්‍රයක්‌. එය කි මී 43400 ක වපසරියක විහිදිලා තියෙනව. හැනොයි නගරයේ ඉඳල පැය 4 ක විතර ගමනක්‌ ගියාමයි මේ බොක්‌කට ළගා වෙන්න හැකි වෙන්නෙ. එහි තියෙනව සයුර දෙබෑකර ගෙන මතු වූ අලංකාර පර්වත රාශියක්‌. මේවා ඉතා තද හුණු ගල් විශේෂයකින් නිර්මාණය වූ ඒවා. ඉන් එක්‌ විශාල කඳුවැටියකයි මේ අපූරු ගුහාව පිහිටලා තියෙන්නෙ. එහි නම HANG SUNG SOT වුවත් ජනතාව එය හඳුන්වන්නෙ මකරාගේ ගුහාව කියලයි.

මෙහි යන සංචාරකයන්ට ඒ අසළ ජැටිය වෙත යාමට යාන්ත්‍රික බෝට්‌ටු තියෙනව. බෝට්‌ටු ගමන විනාඩි20 ක්‌ විතර යනව. ආරක්‍ෂිත කබා ඇග ලා ගත් පිරිස රැගෙන වටා පිටාවෙ ඇති විශාල පර්වත අතරින් යන ඒ බෝට්‌ටු ගමන සුන්දර එකක්‌. බෝට්‌ටුව නවත්වන්නෙ හොඳට ඉඩ පහසුකම් ඇති අලංකාර ලෙස සකස්‌ කරන ලද ජැටියක. ජැටිය ආසන්නයේ පිවිසුම් දොරටුව තියෙන්නෙ. එතැන දැන්වීම් පුවරුවක ලියලා තියනව කොන්දේ අමාරු පාදවල අමාරු හා හදවත් රෝගීන්ට අසතුටු නම් ගුහාවට ඇතුළු නොවී සිටිය හැකිය කියල. එහි පිවිසුම කුඩා විවරයක්‌ වුණාට ඉඩකඩ ඇතිව සකසා තියෙන එකක්‌. ඉන් ඇතුළු වී පියගැට 200ක්‌ විතර ගුහා ගර්භයට යාමට නැග යා යුතු වෙනව. ගුහාව ඇතුළෙ පඩි සකස්‌ කර තියෙන්නෙ ස්‌වාභාවික ලෙසයි. තරමක්‌ අඳුරු නිසා පරෙස්‌සමින් ඉදිරියට යන්න ඕන. දෙපස බිත්ති අල්ලා ගෙන සීරුවෙන් අඩිය තියන්න ඕන. තරමක්‌ අමාරුවෙන් ඇතුළට ගියත් නරඹන්නන් මවිත කරවන සුන්දරත්වයක්‌ ගුහාව තුළ නිර්මාණය කරල තියෙන විවිධ වර්ණවත් විදුලි ධාරා ගල් බිත්ති අතරින් පෙරී ඇවිත් මුළු පරිසරයම බබළවන්න පටන් ගන්නව. ගුහාවෙ පැති බිත්ති බිම ඉඳල මීටර් 300 ක්‌ ඉහළට විහිද යනව.

මඳ ආලෝක තත්ත්වය යටතේ ඇවිද යන සංචාරකයාට හුණු ගලින් නිමවූ අනගි ප්‍රතිමා නිර්මාණ මග දෙපස දක්‌නට ලැබෙනව. සමහර තැන්වල විවිධ රූප නිර්මාණය කරල තියනව. තවත් තැනක දැවැන්ත මිනිස්‌ රුවක්‌ දිස්‌ වෙනව. විශේෂයෙන් දක්‌නට ලැබෙන නිර්මාණයක්‌ නම් වියට්‌නාමයේ ශේ්‍රෂ්ඨ නායක හෝචි මිංගේ ප්‍රතිරූපයයි. අනතුරුව ඉතා පිරිසිදු ජලයෙන් පිරුණු ජල තටාකයක්‌ දකින්නට පුළුවන්. මේ සියල්ල නරඹමින් ඉදිරියට යන්නට පැය එකහමාරක්‌ පමණ ගත වෙනව. ඊළගට හමුවෙන්නෙ මංසන්දියක්‌. එහි අපූරු දැන්වීමක්‌ සවි කරල තියෙනව. ඔබ කැමති අපායට යන්න නම් වම් පසට යන්න ඔබ කැමති දෙව්ලොව යන්න නම් දකුණු පසට යන්න කියලයි එහි ලියල තියෙන්නෙ. සංචාරකයන්ට මෙහි අදහස තේරුම් යන්නේ කවුරුත් කැමති දෙව් ලොවට යන මාවත දිගේ ගොස්‌ ගුහාවෙන් එළියට ගියාමයි.

ලීලානන්ද වික්‍රමසිංහ

දිවයින ඇසුරිණි



අද්භූත හැඟීමක්‌ ඇති කරන ගුහා පරිශ්‍රයක්‌ මැලේසියාවේ දක්‌නට ලැබෙනවා. එය විශාල කඳුවැටියක (limestone hill) ස්‌වාභාවිකව හුණු ගලින් සැදුනු මහා අඳුරු ගුහාවක ඇති දේවස්‌ථානයක්‌.