බත් පතට වැලි දමන භූතයා මෙල්ල කළ ගුරුන්නාන්සේ

කැටවල හාමුගේ බාල නැගණිය විවාහ වී දකුණු පළාතේ පදිංචිව සිටින්නීය. ඇගේ ස්‌වාමි පුරුෂයා වන ජයතිලක හාමුට මෑතක පටන් අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වී තිබේ. එනම් ඔහු කෑමට ගන්නා බත් පතට වැලි මිශ්‍ර වී තිබීමය. නිවසේ වෙන කිසිවෙකුට මේ ගැටලුව නැත. ඉතා පරීක්‍ෂාකාරීව හාල් ගරා ගල් වැලි ඉවත් කොට බත සකස්‌ කළද ප්‍රශ්නය විසඳුනේ නැත. පිටතින් ආහාර ගෙනැවිත් අනුභව කළත් විටින් විට ගල් සැපෙන්නට පටන් ගනී. ප්‍රදේශයේ කට්‌ටඩියන්ගේ මතය වූයේ මෙය භූත දෝෂයකින් සිදුවන්නක්‌ බවය. එහෙත් මේ සඳහා නොයෙක්‌ ප්‍රතිකර්ම කළත් ගැටලුව විසඳුනේ නැත.

මේ ගැන කැටවල හාමුට ආරංචි වූයේ සිය නැගණිය මගිනි. මෙයට ප්‍රතිකර්ම කිරීම සඳහා සුදුසුම පුද්ගලයා ටිං ටිං ගුරුන්නාන්සේ බව ඔහුට එක්‌ වරම සිහියට ආවේ කලකට පෙර ඇස්‌පනා පිට භූතයින් පලවා හැරීම හා පොළොව යටින් නාගයින් ගෙන්වීම ආදී විශ්මය ජනක වැඩ ඔහු හා ගෝලයා විසින් කළ නිසාය. දිනක්‌ ටිං ටිං ගුරුන්නාන්සේද කැටුව කැටවල හාමු තම නැගණියගේ නිවසට ගියේ ජයතිලක හාමුට පිහිටක්‌ වන අටියෙනි.

ජයතිලක හාමුට ටිං ටිං ගුරුන්නාන්සේ හඳුන්වා දුන් කැටවල හාමු ගුරුන්නාන්සේ ගැන පැහැදිලි විස්‌තරයක්‌ද කළේය. නිවස වත්ත පරීක්‍ෂා කළ ගුරුන්නාන්සේ ළඟදී හැපුණ වැලි කැටයක්‌ ඇත්දැයි ඇසීය. එවන් කුඩා වැලිකැට දෙකක්‌ ජයතිලක හාමු ගෙනැවිත් පෙන්වීය. ඉන්පසු එයින් එක්‌ වැලි කැටයක්‌ මුහුණ බලන කණ්‌නාඩියක්‌ මත තබා ගුරුන්නාන්සේ ගෙනෙන ලද ජප කරන ලද වතුර ස්‌වල්පයක්‌ දැමීය. පෙණ නගිමින් වැලි කැටය දියවුණි. ඉන් පසු ජයතිලක හාමුගේ මුඛයද පරීක්‍ෂා කළ ගුරුන්නාන්සේ තමා සතියක්‌ ඇතුළත සන්ධ්‍යා කාලයේ යළි පැමිණෙන බවත් සාලය මැද ඇති පැතලි වීදුරුවක්‌ සවි කරන ලද මේසය එදිනට තමාට අවශ්‍ය බවත් කියා සිටියේය.

දින හයකට පසු සන්ධ්‍යාවේ කැටවල හාමු විසින් ගුරුන්නාන්සේ, ගෝලයා හා තවත් තරුණයෙකු කැඳවාගෙන ආවේය. වත්ත පුරා ඇවිද්ද ගුරුන්නාන්සේ පොල් පැළ කිහිපයකින් ගොක්‌කොල නවයක්‌ කපාගෙන ආවේය. එළියේ සකස්‌ කරන ලද පහන් පැලකට මෙම ගොක්‌කොල හා නූල් පන්දුවක්‌ දමා පහන් දෙකක්‌ පත්තු කළ ගුරුන්නාන්සේ තවත් පහන් පැලක්‌ සාදා අඩියක්‌ දිග අඩියක්‌ උස අඩියක්‌ පළල පෙට්‌ටියක්‌ ඒ තුළ තැන්පත් කළේය. ලීයෙන් තනා ඇති මෙම පෙට්‌ටිය මුදුනින් අගුළු දමා වසන්නට හැකි අයුරින් නිමවා තිබුණ අතර එය එසවීම සඳහා උඩු පැත්තේ කොක්‌කක්‌ සවි කොට තිබිණි. මෙහි අඩියට පැතලි වීදුරුවක්‌ද අලවා තිබිණ.

නිවස තුළ ඇති මුහුණතට වීදුරු ගැසූ මේසයද මිදුලේ එළිමහනට ගෙන්වා ගත්තේය. රාත්‍රි එක පමණ වන තෙක්‌ පෙට්‌ටියට මැතිරූ ගුරුන්නාන්සේ ඉන් පසු පෙට්‌ටිය රැගෙන වීදුරු මේසය මත තබන ලෙස ජයතිලක හාමුට කීවේය. ඔහු එහි කොක්‌කෙන් දකුණු අතින් ඔසවා මේසය මත තැබීය. ඉන් පසු එහි පියන විවෘත කළ ටිං ටිං ගුරුන්නාන්සේ අනෙක්‌ පහන් පැලේ ඇති ගොක්‌කොලවලින් තීරුව බැගින් ගෙන ඒවා එකින් එක අඟලක්‌ පමණ වන සේ පළල වනසේ රෝල් කොට නූල් පන්දුවෙන් නූල් කඩා බැන්දේය.

මෙම ගැට ගැසූ ගොක්‌කොල එකින් එක පෙට්‌ටිය තුළ තැන්පත් කරන ලෙස ජයතිලක හාමුට කී අතර එසේ තැන්පත් කරද්දී ඒ එකක්‌ ගානේ ටිං ටිං හඬ එන පරිදි ගිරයකින් සීනුවකට තට්‌ටු කළේය. අනතුරුව පෙට්‌ටිය මේසය මත අඟල් හයක්‌ පමණ එහාට මෙහාට චලනය කළ ගුරුන්නාන්සේ "හොඳයි දැන් ජයතිලක හාමු ඇවිල්ල මේ පෙට්‌ටිය උඩට උස්‌සන්නකෝ යෑයි කීය. ජයතිලක හාමු ඇවිත් පෙට්‌ටිය ඉහළට එසවීමට තැත් කළත් එසේ කළ නොහැකි විය. "හාමු මහත්තයා දැන් පෙට්‌ටිය ගොඩක්‌ බරයි නේද?" ගුරුන්නාන්සේ ඇසීය. "එහෙමයි එහෙමයි ගුරුන්නාන්සේ මොකද මේ වෙලා තියෙන්නේ" ජයතිලක හාමු ඇසීය. ගුරුන්නාන්සේ එයට පිළිතුරු නොදී පෙට්‌ටිය ඔසවන ලෙස කැටවල හාමුට කීවේය. "ජයතිලක තනි අතින් උස්‌සල තියපු එකනෙ ගුරුන්නාන්සේ, දැන් උස්‌සන්න බැහැනෙ, මොකද මේ? කැටවල හාමු ඇසීය.

මේකනෙ හාමු මහත්තයා දැන් මම මතුරල ගැටගහල දාපු ගොක්‌කොළ නමයට ජයතිලක හාමුට අපල කරන භූතයො විශාල ගණනක්‌ වහලයි ඉන්නෙ, හරියට අර කරවල කෑල්ලකට මැස්‌සෝ වහනව වගේ, ඉතිං උන්ගෙ බර තමයි ඔය දැනෙන්නේ ගුරුන්නාන්සේ කීවේය. " මගේ අම්මෝ භූතයින්ගෙ බර "ජයතිලක හාමු කීවේය." එතකොට මේ භූත පෙට්‌ටියට මොකද කරන්නෙ" ඇසුවේ කැටවල හාමුය " අපිට මේ පෙට්‌ටිය ගෙනියන්න බැහැනෙ. බර වැඩිනෙ, ඒක නිසා මේ පෙට්‌ටිය ඇතුළේ ඉන්න භූතයො ටිකට මම මතුරල ඇතුළෙ පාවි පාවී ඉන්න සලස්‌වනවා එතකොට බර අඩු වෙනවා" ගුරුන්නාන්සේ පැහැදිලි කළේය. ඉන් පසු තම ගෝලයාට හා කැඳවා ගෙන ආ අනෙක්‌ පුද්ගලයාට පෙට්‌ටියේ කොක්‌ක අස්‌සෙන් අලවංගු කූරක්‌ දමා මේසය දෙපැත්තේ සිට පෙට්‌ටිය ඔසවන්නට කී අතර ගුරුන්නාන්සේ තදින් මේසය අල්ලා ගත්තේය. ගෝලයා හා අනෙක්‌ තැනැත්තාගේ බාහුවල මස්‌ පිඩු පිම්බී තිබුණේ පෙට්‌ටියේ ඇති අධික බර නිසාය. ඉන් පසු වැලි ස්‌වල්පයකට මැතිරූ ගුරුන්නාන්සේ එය පෙට්‌ටිය හා මේසය පුරා විහිදෙන පරිදි ගැසුවේය. " හා දැන් පරිස්‌සමට ඔය පෙට්‌ටිය මේසය උඩින් තියෙනවා" ගුරුන්නාන්සේ අණ කළේය. " දැන් ඔය හාමු මහත්තුරු ඇවිල්ල බලන්න පෙට්‌ටිය උස්‌සන්න පුළුවන්ද කියලා. ගුරුන්නාන්සේ කීවේය.

කැටවල හා ජයතිලක හාමුලා කිසි අපහසුවකින් තොරව එය එසවීය. "හරිම පුදුමයිනෙ ගුරුන්නාන්සේ" කැටවල හාමු කීවේය. " දැන් මේ පෙට්‌ටියට මොකද කරන්නෙ" ජයතිලක හාමු ඇසීය. " මුන් ටික ගෙනිහිල්ල අපේ වත්තට මුදා හරිනවා" ගුරුන්නාන්සේ ඇඟට පතට නොදැනී කීවේය. "එතකොට ගුරුන්නාන්සේට කරදර එන්නෙ නැද්ද" ජයතිලක හාමු ඇසීය" එව්වා කොහෙද මාත් එක්‌ක, උන්ට මං පෙන්නනවා මම කවුද කියලා" ගුරුන්නාන්සේ විලම්බලයෙන් (Slow speed) කීවේය. "ජයතිලක හාමු මහත්තයා, කරන්න තව ලොකු වැඩක්‌ තියෙනවා." "ඒ මොකක්‌ද ගුරුන්නාන්සේ" මහත්තයගේ දත් තුනකට අරක්‌ ගත්ත භූතයො ඉන්නවා. මං උන්ව එළවන්න ගියා නම් උන්ගෙ බරට මහත්තයා ඇදගෙන වැටෙනවා ඒක නිසා හෙටම මාත් එක්‌ක ගිහිල්ල ඔය දත් තුන ප්‍රතිසංස්‌කරණය කරන්න හරි උගුල්ලලා දාන්න හරි ඕනෑ. කොහොමත් ඒ දත් හොඳටම නරක්‌ වෙලා තියෙන්නෙ" ගුරුන්නාන්සේ කීවේය. "හරි හරි ගුරුන්නාන්සේ " කිවූ ජයතිලක හාමු පසු දින ගොස්‌ එයද කර ගත්තේය. කරන ලද ගුරුකම්වලට මුදල් ලබාගැනීමේදී කොකෙක්‌ මෙන් බෙල්ල දිගු කර ඒ දෙස බලා සිටි ගෝලයාට ගුරුන්නාන්සේ බැණ වැදුණි. ජයතිලක හාමුගේ බත් පතට වැලි වැටීමේ ගැටලුව නිරාකරණය විය.

භූතයින් මෙතරම් බරද? එළිමහනේ තැබූ පැතලි වීදුරු මුහුණතක්‌ ඇති මේසය මතට රාත්‍රි කාලයේ පින්න වැටීම නිසා එය තරමක්‌ තෙත්ව පැවතිණ. මේ මතට වීදුරු අඩියක්‌ සහිත පෙට්‌ටිය තැබීමෙන් මේසයේ වීදුරුව හා පෙට්‌ටියේ වීදුරුව අතර තුනී ජල ස්‌ථරයක්‌ ඇතිවේ. වීදුරු දෙක එකිනෙකින් ඈත් කිරීමට ගන්නා උත්සාහයේදී මේ දෙක අතර රික්‌තයක්‌ (Vaccum) හට ගන්නා හෙයින් ඒවා ඈත් කිරීම අපහසුය. මේ අවස්‌ථාවේ වීදුරු දෙක ක්‍රියා කරනුයේ වීදුරු එසැවීමට හෝ වීදුරුවක යමක්‌ එල්ලා තැබීමට ගන්නා රබර් රික්‌තක මෙනි. වීදුරු දෙක අතරට වැලි ස්‌වල්පයක්‌ දැමූව විට පෙට්‌ටිය එසවීමේදී වීදුරු දෙක අතරට පහසුවෙන් වාතය ගලා එයි. එවිට රික්‌තකයක්‌ හට ගන්නේ නැත.

සමහරක්‌ අයගේ මුඛයේ දත් දිරාපත් වුණු විට ආහාර ගැනීමේදී වැලි කැට තරමේ දත් කැබලි කැඩී යයි. මේවා හැපෙන විට වැලි හැපෙන්නාක්‌ මෙන් දැනේ. එම දත් කැබැල්ලකට සාන්ද්‍ර නයිටි්‍රක්‌ අම්ලය දැමූ විට ඇති වන සීග්‍ර ප්‍රතික්‍රියාව නිරීක්‍ෂණය කිරීමෙන් මේ හැපෙන්නේ දත් කැබලි බව සපථ කර ගත හැක. ඉතා භයානක ප්‍රතිඵල අත් විය හැකි හෙයින් කිසිදු සාන්ද්‍ර අම්ලයක්‌ නිවසක තබා ගැනීම නොකළ යුතුය.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

දිවයින ඇසුරිණි



කැටවල හාමුගේ බාල නැගණිය විවාහ වී දකුණු පළාතේ පදිංචිව සිටින්නීය. ඇගේ ස්‌වාමි පුරුෂයා වන ජයතිලක හාමුට මෑතක පටන් අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වී තිබේ. එනම් ඔහු කෑමට ගන්නා බත් පතට වැලි මිශ්‍ර වී තිබීමය.