මහ වන මැද නට­බුන් වුණු මහා සෑය ගොඩනැඟූ හැටි

අනුරාධපුරය අදත් සිංහලයාගේ ශුද්ධ නග­රය ය. මේ මහා නග­රය සහ­මු­ලින් වැනසී නට­බුන් වන්නේ අදින් වසර 1024ක් ඈත අතී­ත­යේ­දීය. ඓති­හා­සික ලෝකයේ මහත් සම්භා­ව­නා­වට ලක්වෙ­මින් පුරා වසර 1373 ක් තිස්සේ රජ­වරුන් 124 දෙනෙකු විසින් හොබ­වන ලද මේ කීර්ති­මත් නග­රය අපේ ඉති­හා­සයේ අඩ­කට ආසන්න කාල­යක් පැව­තියේ මල­වුන්ගේ නර­ග­යක් ලෙසය. ඒ ඉසු­රු­මත් පුරය මළ­ගෙ­යක් කරන මහා ඓති­හා­සික කොල්ලය සිදු­වන්නේ ක්‍රිස්තු වර්ෂ 993 දීය. බිහි­සුණු ආක්‍ර­ම­ණ­යක යෙදුණු චෝල හමුදා ඒ කොල්ල­යත් සම­ග­ සිං­හ­ලයේ ගෞර­වා­න්විත යුගය නිමා කළේය. ඔවුහු අනු­රා­ධ­පුර නග­රය තිර­ශ්චීන ලෙස කොල්ල කෑහ. රටක් කොල්ලකෑ හැකි බිහි­සු­ණුම ආකා­ර­යට ඔවුහු ඒ කොල්ලයේ යෙදු­ණහ. එව­කට අනු­රා­ධ­පු­රයේ පාල­ක­යාව සිටියේ පස්වන මිහිඳු (ක්‍රි.ව.982-1029) රජුය. සොලීහු පස්වන මිහිඳු ජීව­ග්‍ර­හ­යෙන් ගත්හ. ඔහුගේ බිස­වත් ජීව­ග්‍ර­හ­යෙන් ගත්හ. ලක්දිව පාර­ම්ප­රික ඔටු­න්නත්, රාජ්‍ය­ත්වය සංකේ­ත­ව­ත් කළ පංච කකුධ භාණ්ඩ ඇතුළු සියලූ රාජ­කීය ආභ­ර­ණත්, මිල කළ නොහැකි තරම් අගනා වජ්‍ර­යත්, බිඳිය නොහැකි සිරිය හා නළ­ල්­ප­ටත් සහි­තව ජීව­ග්‍ර­හ­යෙන් ගත් රජු හා බිසව ඉන්දි­යානු චෝල මණ්ඩ­ලයේ චෝල රජු වෙත යැවූහ. අනු­රා­ධ­පුර යුගය අව­සන් කරන පස්වන මිහිඳු සොලී රටේ දී ( ක්‍රි.ව.1029) දුගී යාච­ක­යෙක් බඳු සිර­ක­රු­වෙකු ලෙස මිය­ගි­යේය.

ඉන් අන­තු­රුව සොලීහු රජ­රට අමු­සො­හො­නක් කළහ. මේ නිර්දය කොල්ල­යෙන් අන­තු­රුව බිඳ දැමුණු දාගැබ් වෙහෙර විහාර සොහොන් සේ පාළු­වට ගියේය. වාරි කර්මාන්ත නට­බුන්ව ගියේය. අනු­රා­ධ­පුර අත්හළ නර­ග­ර­යක් බවට පත්විය. මේ අවා­ස­නා­වන්ත අත්හැ­රී­මෙන් අන­තු­රුව පොලො­න්න­රු­වට විතැ­න්වන සිංහ­ලයේ රාජ­ධා­නිය ගලින් ගලට, කන්දෙන් කන්දට, වගුරු බිම් හරහා නිරිත දිගට මාරු වී අව­සා­න­යේ දී කන්ද උඩ­ර­ටින් ස්වකීය කතාව නිමා කළේය.

ඉංග්‍රීසින් දුටු අනු­රා­ධ­පු­රය

මේ මහා අත්හැ­රී­මෙන් අන­තු­රුව අනු­රා­ධ­පු­රයේ ගොඩ­නැ­ගිලි ප්‍රකෘ­ති­මත් කිරීමේ ප්‍රය­ත්න­යක් මහා විජ­ය­බා­වන්, මහා පැර­කු­ම්බා­වන් හා නිශ්ශං­ක­මල්ල විසින් දරා තිබිණි. දඹ­දෙ­ණියේ දෙවන පරා­ක්‍ර­ම­බාහු රජුගේ පුත් තුන්වන විජ­ය­බාහු (ක්‍රි.ව.1270-72) අතර අනු­රා­ධ­පු­රයේ සුළු ප්‍රති­සං­ස්ක­රණ කර­වීය. අන­තු­රුව මේ මහා නුවර සිය­වස් අටක් තිස්සේ මනු­ෂ්‍ය­වා­ස­ය­කින් තොර රුදු වන­ද­හ­නෙහි සැඟව ගියේය. යළි ඒ නුවර සම්බන්ධ ප්‍රාමා­ණා­ත්මක අව­ධා­න­යක් යොමු වන්නේ 19 වැනි සිය­වස මැද භාගයේ ඉංග්‍රීසි පාල­නය යට­තේය.

රටේ සිදුවූ මහා ව්‍යස­න­යන් අතර ලෝක­යෙන් හුද­ක­ලාව ගම්කො­ටු­වල වස­මින් හේනක වවා­ගත් කටු­සර භෝග­ය­කින් යැපෙ­මින්, වැව් කොටු­වක එක් කර­ගත් දිය ඩිංගි­ත්ත­කින් මඩ ගොවි­තැ­නක් කර­මින්, සොබා­ද­හම විසින් තළා පොඩි කර දම­න­තුරු නිහ­ඬව ජීවත්වූ මනු­ෂ්‍යයෝ පිරි­සක් රජ­රට වූහ. අනු­රා­ධ­පු­රය සිරිමා හාමු­දු­රු­වන් අලි­න්ගෙන් රක්ෂා කර­ගැ­නීම සඳහා නිකිණි පොහො­යට දර­මිටි බැඳ­ගෙන අනු­රා­ධ­පු­ර­යට පැමි­ණියෝ මේ මිනි­ස්සුය. නිදි­ව­රා­ගෙන ගිනි­මැල පත්තු­කළේ මේ මිනි­ස්සුය. මහා රාජ­වරු මුළු­ම­නින්ම අත්හ­ළත් ­සි­රිමා හාමු­ද­ුරු­වන් අත් නොහැර උන්ව­හන්සේ වෙනු­වෙන් ජීව­ත්වූයේ මේ මිනි­ස්සුය. වැලි­විට සිරි සර­ණං­කර සංඝ­රාජ හිමි­යන් ලවා කීර්ති ශ්‍රී රාජ­සිංහ රජ­තු­මාගේ අව­ධා­නය ගෙන ජයශ්‍රී මහා බෝධිය රක්ෂා කර­ගැ­නීම සඳහා හාත්පස ඇති නට­බුන් ගල් කණුවලින් ප්‍රාකා­ර­යක් කර­ගත්තෝ මේ මිනිස්සු ය. තමන්ගේ ශක්ති­යෙන් ගොඩ­ගැ­නී­මට නොපො­හොනා මහා ස්තූප කරා වන මැදින් වට අඩි­පාර දිගේ ගොස් මලක් පහ­නක් පූජා කළෝ මේ මිනි­ස්සුය.

මේ මිනි­ස්සුන්ගේ ජීවිත වර්ෂ එක්ද­හස් අට­සීයේ මුල් දශ­ක­වල සිටි ඉංග්‍රීසි පාල­කයෝ වාර්තා කළහ. මේ ප්‍රදේ­ශයේ පරි­පා­ලන පහ­සුව තකා වර්ෂ 1833 දී පිහි­ටු­වන ලද නුවර කලා­විය පරි­පා­ලන දිස්ත්‍රි­ක්කය සඳහා පරි­පා­ලන මූල­ස්ථා­න­යක් අනු­රා­ධ­පු­රයේ තනා ගැනී­මට ඉංග්‍රී­සීන්ට අවශ්‍ය විය. ඒ කාලයේ එවන් ස්ථාන­යක් පව­ත්වා­ගැ­නී­මට සුදුසු වන ප්‍රවා­හ­යෙන් යට නොවුණු බිම්ක­ඩක් අනු­රා­ධ­පු­රයේ නොවුණු ආකා­රය ආර්.ඩබ්ලියු අයි­වර්ස් අතීත ලේඛන උපුටා දක්ව­මින් සිය Manual of the North Central Province ලේඛ­නයේ සඳ­හන් කර තිබිණි. එම වාර්තා ප්‍රකා­රව ඒ වන­විට අනු­රා­ධ­පු­රයේ දී සමාජ ඇසු­රක් සහි­තව එළි පෙහෙළි වී තිබු එකම බිම වූයේ ජය ශ්‍රී මහා­බෝ­ධි­යට නුදු­රි­න් වන මහා නුග­රුක ප්‍රදේ­ශ­යය. ඔවුහු එහි තම කච්චේ­රිය පිහි­ටුවා ගත්හ. (ලෝවා මහා­පා­යට නුදු­රුව පිහිටි චතු­ශ්ශාලා දාන ශාලාව අසල තව­මත් ඒ ඉදි­කි­රීම දක්නට ඇත්තේය.)

ඉංග්‍රීසි ජාති­ක­යන් ස්වකීය වාර්තා­ව­ලින් හෙළි කරනු ලැබුවේ මහා සංස්කෘ­ති­යක මල­ග­මය. වර්ෂ 1832 දී ඉංග්‍රී ආණ්ඩුවේ බෙනට් නම් නිළ­ධා­රියා “ලංකාව” නමැති පොතේ දක්වන ආකා­ර­යට “අනු­රා­ධ­පු­රය පැව­තුනේ ඊට යාන්තම් ගමක් යැයි නම් කිරී­ම­ටත් නොසු­දුසු” මට්ට­මිනි. අනු­රා­ධ­පු­රය ගැන මුල්ම සවි­ස්ත­රා­ත්මක නිරී­ක්ෂණ සහිත වාර්තාව ඉදි­රි­ප­ත්කළ මේජර් ස්කිනර් මේ නග­රය කාන්තා­ර­යක් මැද පිහිටි පුංචි ගමක් සේ දුටු­වේය. වර්ෂ 1863 වන­විට ලෝවා­ම­හා­පාය වසා­ගෙන පැවැති මහා වන­ද­හනේ සිටි මුවන් කච්චේ­රියේ ආලි­න්දයේ සිට දඩ­යම් කිරී­මට එව­කට සිටි ආණ්ඩුවේ සහ­කාර ඒජ­න්ත­ව­ර­යාට හැකි­විය. මේ විභූ­ති­මත් අතීත මහා නග­රය මල­වුන්ගේ නග­ර­යක් වී ඇති අයුරු එල්.සී. ලීසිං නම් ඒජ­න­ත­ව­රයා 1866 දී කම්ප­න­ය­කින් යුතුව ලියා තැබු­වේය.

වන්ද­නාව

එහෙත් මේ මළ­උන්ගේ නග­රය සැදැ­හැ­වත් සිංහල බෞද්ධ­යින්ගේ හද­වත් තුළ ජීව­මා­නව පැව­තිණි. හින්දු බලය තුළ මෙන්ම පෘතු­ගීසි ලන්දේසි පාලන වක­වා­නුව තුළ සිංහල බෞද්ධ සමා­ජ­යට එල්ලවූ පීඩ­නය නිසා සංඝ ශාස­නය දෙදරා ගියත් ඉති­හා­සයේ කිසිම අව­ස්ථා­වක බෞද්ධයෝ ජය­ශ්‍රී­මහා බෝධිය අත් නොහ­ළහ. ඉති­හා­සයේ සෑම කල්හිම ජය ශ්‍රී මහා­බෝ­ධිය ආශ්‍රි­තව සංඝයා වහන්සේ සඳහා විහා­ර­යක් පැව­තිණි. 19 වන සිය­වසේ මුල් භාගය වන­විට මුළු අනු­රා­ධ­පු­ර­ය­ටම තිබුණේ ඒ විහා­රාය පම­ණය. එහි හැම කල්හිම බෝම­ළුවේ නායක තෙරු­න්ව­හන්සේ වැඩ සිටි­යහ. සසුන පිරිහී ගිය අව­ධියේ වුවද උප­ස­ම්පදා රහිත සාම­නේර හිමි­වරු බෝධිය රැක්කාහ. මිහිඳු හිමි­යන් ලංකා­වට බුදු සසුන ගෙනාවා සේ ලක්දිව යළි සංඝ සමා­ජය පිහි­ටුවා සසුන චිර­ස්ථායී කරන්නේ වැලි­විට ශ්‍රී සර­ණං­කර සංඝ­රාජ හිමි­පා­ණෝය. එතෙක් විතැන්ව ගිය ශාස­නික සංස්ථාව විධි­මත් කර­වන උන්ව­හන්සේ අනු­රා­ධ­පු­රයේ ජය ශ්‍රි මහා­බෝ­ධිය මූලික කර­ගත් අට­ම­ස්ථා­නයේ භාර­ක­ාරත්ව­යට උන්ව­හ­න්සේගේ සම­කා­ලීන හිමි­න­මක් වූ ඉලූ­පැ­න්දෙ­ණියේ අත්ත­දස්සී හිමි­යන් වෙත පැව­රූහ.

සර­ණං­කර හිමි ඇති­ කළ බෞද්ධ ප්‍රබෝ­ධය දහ­නව වන සිය­වසේ මුල් කාර්තුව තුළ ඉංග්‍රී­සීන්ට එරෙ­හිව සිංහ­ල­යන් ඇති­කළ තීර­ණා­ත්මක කැරලි දෙක­කින් පසු­වත් යට­පත් නොවිණි. මේ ගැටුම් සහිත වට­පි­ටාව යම් ආකා­ර­යක බෞද්ධ පුන­රු­ද­යක් ද ඇති කළේය. එක්දාස් අට­සිය තිස් ගණ­න්වල සිට සත්කො­ර­ළයේ සංඝ­යා­ව­හ­න්සේලා අනු­රා­ධ­පු­රයේ අත්හැර දමා තිබූ සිද්ධ­ස්ථාන ආශ්‍රි­තව පදිංචි වෙමින් මේ ශාසන ව්‍යාපා­රය තීවෘර කළහ. ක්‍රිස්තු­වර්ෂ 1828 හා 1829 අවු­රු­දු­වල අති­ශය දිරි­මත් හිමි නමක් අභ­ය­ගි­රියේ කටු කොහොල් හැරීමේ දුෂ්කර කාර්යයේ නිර­ත­වූ­වාහු බර­ප­තළ අන­තු­ර­ක­ටද ලක්වූ අයුරු අයි­වර්ස් සිය වාර්තාවේ ඇතු­ළත් කළේය.

වර්ෂ 1840 වන­විට එක් හිමි­න­මක් බැති­ම­තුන්ගේ ආධාර සහි­තව ථූපා­රා­මය මුළු­ම­නින්ම ප්‍රති­සං­ස්ක­ර­ණය කර තිබිණි. මේ දාගැබ් කර්මා­න්තයේ ඉදි­කි­රීම් කර තිබුණේ සින්න අදි­කාර් නම් දෙමළ ජාති­ක­යෙකි. 1869 -1870 වස­ර­වල අනු­රා­ධ­පු­රයේ නට­බුන් තිබූ තත්ත්වය ගැන වාර්තා­ක­රන උප ඒජ­න්ත­ව­ර­යෙක් වූ එල්.සී ලීසිං ථූපා­රාම දාගැබ ඉතා මන­රම්ව ඊට සුවි­ශේෂි ගල්කණු අතර පව­තින ආකා­ර­යත් එය බොහෝ දුරක් ඈතට දර්ශ­නය වන ආකා­ර­යත් ලියා තැබු­වේය. අභ­ය­ගි­රිය හා රුව­න්වැලි සෑය අතර යටි කැලය කපා දැමී­මත්, හර­ස­රින් වන්ද­නා­වට ලක්වෙ­මින් පැවැති ලංකා­රා­මය අවට ශුද්ධ පවිත්‍ර කිරී­මත් ආණ්ඩුව විසින් කර තිබිණි.

රුව­න්මැලි සෑය

එහෙත් මේ වන­විට රුව­න්මැලි සෑය පැව­තියේ අඛණ්ඩ ගරා­වැ­ටී­ම­කට ලක්වෙ­මිනි. ටෙනන්ට් මුලින්ම රුව­න්මැලි සෑය දකින්නේ 1830 දී ය. එවිට ඒ නට­බුන් ගොඩැල්ලේ උස අඩි 180 කි. එහෙත් ඔහු සිය කෘතිය කරන 1850 වන­විට අඩි තිහක් පමණ දාගැබ ගරා වැටී තිබූ බවත් එහි ඒ වන ­විට උස අඩි 150 ක් බවත් ලියා තැබු­වේය. මේ නට­බුන් සෑය මුල්ක­ර­ගෙන 1853 දී සැල­කි­ය­ යුතු පින්ක­මක් පැවැ­ත්විනි. දාගැබ් ගර්භය බැඳ හුනු පිරි­ය­මෙහි අපො­හො­සත් උත්තුංග ප්‍රාර්ථනා සහිත දුගී බැති­මත්හු නට­බුන් ගොඩැල්ල සුදු රෙදි­ව­ලින් ආව­ර­ණය කළහ. අන­තු­රුව ඒ මත තඹ­යෙන් කළ කොතක් තැන්පත් කළහ. වර්ෂ 1869 දී රුව­න්මැලි සෑය අසල විහා­ර­යක් ඉදි විය. රුව­න්මැලි සෑය යළි ගොඩ­නැ­න්වීමේ මහා බලා­පො­රො­ත්තුව පොදු ජන සමා­ජය තුළ පැවැති ආකා­රය මෙවැනි පුණ්‍ය­ක­ර්ම­ව­ලින් පෙනිණි.

කඳු­ගැ­ට­යක් මත ඇඳුණු සිහි­නය

වර්ෂ 1872 වන­ වි­ටත් රුව­න්මැලි මහා­සෑය පුංචි මිනි­සුන්ගේ ශ්‍රද්ධා­වෙන් පම­ණක් පහ­න්වන උස් කන්දක් සහිත වන දුර්ග­යකි. ඒ කඳු­ගැ­ටය වසා­ගත් අභි­මා­න­වත් දාගැ­බක විත්තිය ශ්‍රද්ධා සම්පන්න බැති­මත් සිත්වල ඇඳී තිබිණි. ඒ සිහි­නය බෞද්ධ ලෝකය වෙත සැබෑ­ කර දීම යථා­ර්ථ­වත් කිරීමේ ව්‍යාපා­රය ආරම්භ කළේ එව­කට විසි­තුන් හැවි­රිදි වියෙහි පසුවූ නාරං­විට සුම­න­සාර නම් හිමි­න­මකි. සුම­න­සාර හිමි­යන්ගේ අප්‍ර­කට තොර­තුරු පිළි­බඳ ලියැ­වුණු ලිපි­යක් රුව­න්මැලි සෑයේ කොත් නිරා­ව­රණ උත්ස­වය වෙනු­වෙන් වර්ෂ 1840 ජූනි මස 18 දා දින­මිණ පුව­ත්පතේ පළ­වූ­යේය. ඒ ලිපිය අනුව නාරං­විට සුම­න­සාර හිමි­යන්ගේ මුල් ගම මහ­නු­වර ප්‍රදේ­ශ­යේය. උන්ව­හන්සේ පැවිදි වන්නේ රද්දො­ළුව සුබෝ­ධා­රා­ම­යේය. මුලින්ම රද්දො­ළු­වට එන්නේ ගැල්සා­ත්තු­වක් පිටු­පස පැමිණි නාඳු­නන දරු­වෙකු ලෙසය. ගැල් මගින් ගොස් කෝපි එකතු කර අලෙවි කිරීම වෘත්තිය කර­ගත් මීග­මුව වෑත්තෑව ප්‍රදේ­ශයේ මනංචි රේන්ද­රාල නමැත්තා සමඟ මේ කුඩා දරුවා මීග­මු­වට පැමිණි පසු ඔහුව ඇති දැඩි කර­ගන්නේ රද්දො­ළුවේ ලංසි­යා­වා­ඩියේ ජුසේ ආරච්චි නැමැ­ත්තෙකි.

කුඩා දරුවා අකුරු කර­න්නට යන්නේ රද්දො­ළුවේ පන්ස­ල­ටය. හේතු සම්පත් සහිත අංග ලක්ෂණ වී යැයි කියන ඔහුව නාරං­විට සුම­න­සාර නමින් පැවිදි කර­ගන්නේ රද්දො­ළුව සුබෝ­ධා­රා­මා­ධි­ප­තිව සිටි සෝමා­නන්ද හිමි­ය. සෝමා­නන්ද හිමියෝ රාමඤ්ඤ මහා නිකායේ මිහි­න­මක් වූහ. නාරං­විට සුම­න­සාර හිමියෝ රාමඤ්ඤ නිකා­යික හිමි­න­මක් සේ පැවිදි දිවි­යට පිළි­පන්හ.

හිතු­වක් කරනු රිසි හැඩි දැඩි සිරු­රක් සහිත මේ හිමියෝ ගමේ ගැට­වුන් සමඟ සංචා­ර­යන්හි නිර­ත­ව­න්නාහු වර්ෂ 1872 දී අනු­රා­ධ­පු­ර­යට පැමි­ණි­යහ. මේ මහා සෑය ගරා­වැටී ඇති ආකා­රය උන්ව­හන්සේ දුටු­වහ. පැමිණි පිරිස සම­ගම ගරා­වැ­ටුණු සෑයේ කටු­කො­හොල් ඇරීම ඇරඹු උන්ව­හ­න්සේගේ කට­යුත්ත ලත් තැනම ලොප් වෙන්නට වැඩ යෙදිණි. එව­කට අට­ස්ථා­නා­ධි­ප­තිව වැඩ වාසය කළ කළු­එබේ ශ්‍රී සුමන ධම්ම­ර­ක්ඛිත හිමි­යන්ට සිද්ධිය වාර්තා වී තිබුණේ පිරි­සක් රුව­න්මැ­ලි­සෑයේ නිදන් හාරන බව­ටය. උන්ව­හන්සේ සුම­න­සාර හිමි ප්‍රමුඛ පිරිස තමන් ඉදි­රි­යට පැමි­ණ­වූහ.

හෙළි­වන පරිදි තරුණ හාමු­දු­රු­වන්ගේ උත්සා­හය රුව­න්වැ­ලි­සෑය පිළි­ස­කර කිරී­මය. එහෙත් මේ තරුණ හාමු­දු­රු­වන් රාමඤ්ඤ නිකා­යේය. දැන් ගැට­ලූ­වකි. රුව­න්වැලි දාගැබ වන­ද­හන ගිල ගත් පස් කන්දක් වී තිබූ බව සැබෑය. අභ­ය­ගි­රිය හා ජේත­ව­නය දාගැබ් වර­දවා හඳුනා ගන්නා තර­මට අම­ත­කව ගොස් තිබූ බව සැබෑය. ඒ සිද්ධ­ස්ථා­න­වල මිනිස් පුළු­ටක් නොවුණ බවත් සැබෑය. එහෙත් රුව­න්මැලි සෑය ඇතුළු අට­ම­ස්ථා­නය අයත් වී තිබුණේ සියම් නිකා­ය­ටය. මල්වත්ත මහ පන්ස­ල­ටය. අට­ම­ස්ථා­නා­ධි­ප­තිව වැඩ සිටියේ කළු­එබේ ශ්‍රී සුමන ධම්ම­ර­ක්ඛිත හිමි­යන් සුම­න­සාර හිමි­යන්ට කොන්දේ­සි­යක් ඉදි­රි­පත් කළහ.

ඒ කොන්දේ­සිය මෙසේය. දාගැ­බත් අවට භූමි­යත් අයත් සියම් නිකා­ය­ටය. එය වෙනත් නිකා­යක හිමි නම­කට පැව­රිය නොහැ­කිය. අස්ගි­රිය මහ පන්ස­ලට ගොස් සියම් නිකායේ පැවිදි වී උප­ස­ම්ප­දාව රැගෙන පැමි­ණි­ය­හොත් පම­ණක් රුව­න්වැලි සෑයේ ප්‍රති­සං­ස්ක­ර­ණය නාරං­විට හාමු­දු­රු­වන්ට භාර දිය හැකිය. නාරං­විට සුම­න­සාර හිමියෝ එම කොන්දේ­සිය පිළි­ගත්හ.

අන­තු­රුව උන්ව­හන්සේ උප­වැදි වූහ. රුව­න්මැලි මහා සෑය වෙනු­වෙන් රාමඤ්ඤ මහා නිකාය අත්හ­ලහ. වැඩ කට­යුතු පසෙක තබා ගිහි­යකු සේ මල්වත්ත පන්ස­ලට ගියහ. ගොස් එහි පැවි­දිව උප­ස­ම්ප­දාව ලබා­ගත්හ. පැවිද්ද හා උප­ස­ම්ප­දාව ලද බවට වූ ලේඛ­න­යක් සහි­තව යළිත් අට­ම­ස්ථා­නා­ධි­පති හිමි­යන් හමු­වූහ. දැන් නාරං­විට සුම­න­සාර හිමි­යන් සියම් නිකායේ හිමි නමකි. රුව­න්මැලි සෑය පිළි­ස­කර කිරීමේ අව­ස­රය හා ස්ථානයේ භාර­කා­ර­ත්වය උන්ව­හ­න්සේට ලැබෙන්නේ ඉන් අන­තු­රු­වය. සියම් නිකායේ ආශී­ර්වාද සහි­තව 1873 දී සුම­න­සාර හිමියෝ රුව­න්මැලි සෑ ප්‍රති­සං­ස්ක­රණ කර්මා­න්තය ආරම්භ කළහ. අතේ ශත පහක මුද­ලක් නැතිව උත්සා­හය හා යහ­පත් ප්‍රාර්ථ­නා­වන් පම­ණක් සහි­තව කට­යුතු ඇර­ඹූහ. මහා ජන ප්‍රසා­ද­යක් එතු­මන් වටා ගොඩ­නැ­ගිනි. ආධාර ගලා ආවේය.

මේ සම­ගම රුව­න්මැලි සෑය­ටත් වඩා මහා අභි­යෝග නාරං­විට හාමු­දු­රු­වන් ඉදි­රි­යට පැමි­ණි­යේය. අන­ගා­රික ධර්ම­පාල තුමා මේ ජාතික ව්‍යාපා­ර­යට එරෙ­හිව ජන­ම­ත­යක් ගොඩ­නැ­ගීම ආරම්භ කළේය. සුම­න­සාර හිමි­යන් හා එක්ව සිටි ධර්ම­පාල තුමාගේ යහ­පත්ම ගෝල­යා­ වන වලි­සිංහ හරි­ශ්චන්ද්‍ර තුමා උන්ව­හන්සේ අත්හ­ළහ. අප නුදුටු, අප නොද­කින මමං­කා­රය සහිත අශ්ලීල දේශ­පා­ල­නයේ විවිධ විකෘති ඒ වක­වා­නු­වේ­දීත් සෑම සමාජ ව්‍යාපා­ර­යක් තුළ­මත් ගැබ් වි තිබිණි.

ඉතිරි කොටස ලබන සති­යට

සිළුමිණ ඇසුරිණි



අනුරාධපුරය අදත් සිංහලයාගේ ශුද්ධ නග­රය ය. මේ මහා නග­රය සහ­මු­ලින් වැනසී නට­බුන් වන්නේ අදින් වසර 1024ක් ඈත අතී­ත­යේ­දීය. ඓති­හා­සික ලෝකයේ මහත් සම්භා­ව­නා­වට ලක්වෙ­මින් පුරා වසර 1373 ක් තිස්සේ රජ­වරුන් 124 දෙනෙකු විසින් හොබ­වන ලද මේ කීර්ති­මත් නග­රය අපේ ඉති­හා­සයේ අඩ­කට ආසන්න කාල­යක් පැව­තියේ මල­වුන්ගේ නර­ග­යක් ලෙසය.