ගුහාවෙන් ආ ළමුන්ගේ කඳුළත් හිනාවත් එකවර දිස් වූ අයුරු

තායිලන්තයේ තාම් ලුවැන්ග් ලෙන් සංකීර්ණයේ සිර වී සිටි දරුවන් දොළොස්දෙනා සහ ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩා පුහුණුකරු පසුගිය දා බේරා ගැනිණ. ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වුණේ අතුරුදන් වීමෙන් දින 18කට පමණ පසුවය. මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරුණු මෙහෙයුම මුළු මහත් ලෝකයාගේම අවධානයට ලක් විය. පිරිස බේරා ගැනීමේ මෙහෙයුමට, විවිධ ක්ෂේත්‍රවල දෙස් විදෙස් විශේෂඥයෝ සිය ගණනක් ඍජුවම සහභාගී වූහ. විවිධ වෘත්තීන්හි නියැළුණු තවත් දහස් ගණනක් පසුබිමෙහි සිට ඒ පිරිසට සහය ලබා දුන්හ. එලෙස දියත් කෙරුණු මුදා ගැනීම සාර්ථකව අවසන් වුවත් ඊට බද්ධ වුණු අතුරු කතා, කතා කිරීම තවමත් අවසන් වී නැත.

ලෙනෙහි සිර වී සිටි දරුවෝ දොළොස්දෙනා වයස අවුරුදු 11ත් 16ත් අතර වයස් ඛණ්ඩවල පසු වූහ. එබැවින් දරුවන් මුදාගන්නා තුරුම ඔවුන්ගේ මාපියන් බලවත් චිත්ත පීඩාවන්ගෙන් පෙළෙනු පැහැදිලිවම දැකිය හැකි විය. ඔවුන් සෑම මොහොතකමව හදවතින් මැරි මැරී උපදිමින් සිටියහ. දින දහ අටක් පුරා ලෙනක සිර වී සිටින තම දාහතර හැවිරිදි පුතා මුදා ගන්නා තුරු බලා සිටි පියකු ලෙන් දොර ළඟ තම පුතාව දැඩිව බදාගැනීමේ නොතිත් ආශාවෙන් පසු විය. තාත්තලා දරුවන්ට දක්වන නිහඬ එහෙත් ගැඹුරු ආදරයේ මහිමය එයය.

“මට ඔහුව දැඩිව බදා ගන්න ඕනෑ මම දැන් සතුටින් පසුවන බව ඔහුට කියන්න මට වුවමණයි” දාහතර හැවිරිදි අකරට් වොන්ග්සුක්චාන්ගේ තාත්තා ඒ විධියට මාධ්‍යට පැවසුවේ තම පුතා මුදාගන්නා තුරු ලෙන් දොර ළඟ රැකවල්ලා බලා සිටින විටදී ය. ලෙන් කට ළඟ බලා සිටි අනෙක් මවුපියන්ගේ හදවත්ද එලෙසම වන්නට ඇත.

දරුවන් මුදාගෙන රෝහල් ගත කෙරුණද ඔවුන්ට සිය මාපියන් සහ ඥාතීන් සමඟ එක්වීමේ අවස්ථාව මඟ හරවා තිබිණ. ඒ, මුදා ගැනුණ පිරිසෙන් සමහරුන් මඳ නිව්මෝනියා තත්ත්වයකින් පසුවන බැවින් ද සියලු දෙනාගේම සෞඛ්‍ය දුර්වල බැවින් ද ආසාදනයන්ට ගොදුරු වේයැයි සැකයත් මතුවීම ද නිසාය. මේ නිසා පාරදෘෂ්‍යය වීදුරුවකින් වෙන් කෙරුණු ඉසව්වක සිට තම දරුවන්ට අතින් සන් කරනු හැර වෙනත් විකල්පයක් අම්මලා තාත්තලාට. දරුවන් රෝහල් වාට්ටුවේ සිට ඥාතීන්ට තම අදහස් දන්වා සිටියේ දෑඟිලි ඔසවමින් ජයග්‍රහණය සංඥා කරමිනි. තම පුතුන් වැටී හිටි මකර කට ගැන කල්පනා වන විට අම්මලා තාත්තලාට පුතාලාගේ ඒ සංඥාවත් සැනසීමක් වූවාට සැකයක් නැත.

පිරිස මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ වන තුරු සෑම කෙනෙකුගේම හදවත් සැළුණේ සිර වී සිටි අය නිරුපද්‍රිතව බේරා ගත හැකිවේ ද යන්න සම්බන්ධයෙනි. මෙහෙයුමේ නිරතව සිටි සමන් කුනන් නමැති විශ්‍රාමික තායි නාවුක සීල් නිලධාරියා කිසිවකු අපේක්ෂා නොකළ අවස්ථාවකදී ජීවිතක්ෂයට පත් වූයේ ඒ අතර තුරදී ය. තිස් අට හැවිරිදි සමන් මේ මෙහෙයුම තුළ ඉටුකරමින් සිටියේ ලෙන තුළට ඔක්සිජන් ටැංකි රැගෙන කිමිදීමේ කාර්යයි. 'ඔක්සිජන් ටැංකියක් සාර්ථකව ලෙන තුළට දී ආපසු එමින් සිටියදී ඔක්සිජන් හිඟවීමෙන් සිහිසුන්ව හෙතෙම ජීවිතක්ෂයට පත් විය. විරුවකු ලෙස ගරු බුහුමන් ලබමින් ඔහු අවසන් ගමන ගියේය. එහෙත් ඔහුගේ සෙනෙහස් සුවය ලද බිරිය සහ පියා ඇතුළු පිරිසකගේ හදවත් වේදනාවෙන් ඔත්පලව ඇත.

“ඔබ සෑම කල්හිම මා සමඟයි. ඔබ වන් අනෙක් කෙනෙක් මට තවත් නැත. ඔබ මා සමඟ නොවේ නම් මටත් හුස්මක් නොවැටුණාට කමක් නැත. ඒ මන්ද යත්, එකම හුස්මකින් අප ජීවත්වන බව අප එකිනෙකා දිනෙක සපත කරගත් බැවිනි” යනුවෙන් සමන්ගේ බිරිය - වලීපොවන් කුනන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහන් කර තිබුණේ සමන් ජීවිතක්ෂයට පත්වුණු දිනට පසු දා ය. එය හදවත කකියවන සංවේදී සටහනකි. ඒ සටහනත් සමඟ ඔවුන් දෙපළගේ පෞද්ගලික ඡායාරූප කිහිපයක් ද ඈ සිය ගිණුමට එකතු කර තිබුණි. එම සේයා රූ පෙළ දකින කෙනකුගේ ඇස කඳුළින් තෙත් නොවුණහොත් එය අරුමයකි. එක් උදාරතර කාර්යයක් සපුරන්නට ගිය ගමනේදී ඈට ඔහුව සදහටම මඟ හැරිණ. ඒ මඟ හැරුම සැපිරිය නොහැකි තරම් ය. එහෙත් සමන් නුදුටුවත් ඔහුට නෑසුනත් ඔහුගේ සිහිනය සැබෑ විය. ලෙනෙහි සිර වී සිටිය වුන් සාර්ථකව මුදාගෙන රෝහල් ගත කරන අයුරුත් වලීපොවන් කුනන් හඬා වැළපෙමින් සිය සැමියාට සමුදෙන අයුරුත් දැක්වෙන මාධ්‍ය වාර්තා එකවර එකට පළව තිබීම ඉහිලුම් නොදෙන තරමට සංවේදී වූයේය. කිමිදුම්කරුවන් සමඟ පිරිස මුදා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි ඕස්ට්‍රේලියා ජාතික වෛද්‍ය රිචර්ඩ් හැරිස්ගේ පියා ජීවන ගමන හැර ගියේ ද මේ මෙහෙයුමේ අවසන් භාගයේදී ය. නිර්වින්දන වෛද්‍යවරයකු වන රිචර්ඩ් හැරිස් කිමිදුම් කාර්යයෙහි තිස් අවුරුදු අත්දැකීම් ඇත්තෙකි. එනිසා හෙතෙම දක්ෂ කිමිදුම්කරුවෙකි. එමෙන්ම ඔහු ලෙන් තුළ සිර වී සිටියවුන් මුදා ගැනීමේ අත්දැකීම් ඇති පුද්ගලයෙක් ද වන්නේය. මේ මෙහෙයුමේදී ඔහුගෙන් සිදු වූ මෙහෙය අති මහත් බැව් දැක්වේ. සිර වී සිටි පිරිස මුදා ගැනීම ආරම්භ කරන්නට පළමුව, පිරිස ඊට සුදුසු සෞඛ්‍ය මට්ටමකින් පසුවේද යන්න අන්තිම තිතටම තහවුරු කිරීමේ වගකීම පැවරී තිබුණේ දොස්තර රිචර්ඩ්ට ය. ඒ නිසා එක් එක් දරුවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තහවුරුව ලබාදෙන්නට ඔහුට සිදුව තිබිණ. එය, පොඩ්ඩ ගැස්සී ගියහොත් ජීවිතයක් මරණයෙන් කෙළවර වන අතිශය දුෂ්කර වැඩකි. අදාල පරික්ෂා කිරීම් සිදු කර සිය නිගමන ලබාදී අත පිහදා ගන්නට හෙතෙම කැමති වූයේ නැත. අන්තිම දරුවාත් ලෙන් ද්වාරයෙන් බැහැරට රැගෙන එන තුරු තමන්ගේ වගකීම අවසන් නැති බැව් ඔහු නිහඬවම කියා සිටියේ එබැවිනි. ඔහුට තම පියාගේ මරණය ගැන අසන්නට සිදු වන්නේ ඒ රැඳී සිටීම අතර තුරදී ය. දොස්තර රිචර්ඩ් තමන් අත ඇති වගකීම වෙනත් කෙනකුට භාර කර ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර බලා පියාසර කරන්නට ඉක්මන් වූයේ නැත. රිචර්ඩ්ගේ අපමණ මනුෂ්‍යත්වය ගැන ඇගැයුමක් කළ ඔහුගේ මිත්‍ර ඇන්ඩෘ පියර්ස් මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙවැන්නකි.

“හැරී කිසිම වෙලාවක තමන් ගැන හිතන කෙනෙක් නෙවෙයි. ඔහු අතිශයින්ම කරුණාවන්ත සිතුවිලිවලින් යුත් කෙනෙක්.හැබැයි ඔහු නිහඬ පුද්ගලයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු තමන් සතු සියල්ල දානය කරන්න සූදානම් මිනිසෙක්” යනුවෙනි.

තායිලන්තයේ “වයිල්ඩ් බෝර්” පාපන්දු කණ්ඩායම ගැන ලෝකයේ කොයි කොතැන සිටින අයත් දැන් දනිති. මේ නිසා ලෝක පාපන්දු පතාකයන්ගෙන් වයිල්ඩ් බෝර්ලාට මේ වනවිට නිරන්තර ඇරයුම් ගලා එමින් තිබේ. බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් එන්නැයි කියා වයිල්ඩ් බෝර්ලාට ආරාධනය කර ඇත. ඒ, මැන්චෙස්ටර් යුනයිටඩ් ඉදිරි පාපන්දු වසන්තයේ රසය බෙදා හදා ගන්නටය. ලෝක පාපන්දු සම්මේලනයත් කඩිමුඩියේම වාගේ ආරාධනයක් කර තිබේ. ඒ, පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය නරඹන්නට එන මෙන් ඉල්ලමිනි. කොහොම වුණත් වෛද්‍යවරුන් නම් කියන්නේ වයිල්ඩ් බෝර් කණ්ඩායම, පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය නරඹන්නට එවන්න තරම් පුළුවන්කමක් නැති බවකි.

මුළු මහත් ලෝකයාගේම අවධානය එකවර තමන් දෙසට යොමු කරගත් වයිල්ඩ් බෝර් පාපන්දු කණ්ඩායම ගැන ඉදිරියේදී තව තවත් කතා ඇසෙනු සහ ලියැවෙනු ඇත.

මංජුලා විජයරත්න
දිනමිණ ඇසුරිණි



තායිලන්තයේ තාම් ලුවැන්ග් ලෙන් සංකීර්ණයේ සිර වී සිටි දරුවන් දොළොස්දෙනා සහ ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩා පුහුණුකරු පසුගිය දා බේරා ගැනිණ. මුදා ගැනීම සාර්ථකව අවසන් වුවත් ඊට බද්ධ වුණු අතුරු කතා, කතා කිරීම තවමත් අවසන් වී නැත.