ජූනි පළමුවනදා සිට නැවත වැසි කුණාටු - කේ.සී.ජේ. රත්නායකයන්ගෙන් ප්‍රභල අනාවැකියක්

ටොලමියානු ජ්‍යෝතිෂ්‍යවේදී කේ.සී.ජේ. රත්නායකයක - 0771620070

අප මීට පෙර පුරෝකතනය කළ පරිදි ම පසුගිය කාලයේදී ඇති වු ධාරාණිපාත වර්ෂාවේ එක් ශක්ති චක්‍රයක නිමාව පසුගිය මැයි 27වැනිදා සිදුවිණ. එහෙත් ඊළඟ ශක්ති චක්‍ර සංයෝගය ජුනි මස 01 වැනිදා සිට පෙරටත් වඩා වැඩි පරිමාවකින් සහ තීව්‍ර තාවයකින් යුතුව සක්‍රීය වන බව ටොලමියානු ජොතිශය අනුව පෙන්නුම් කරයි . 

ජුනි මස 01, 02, 03, 04, 05 , 06 සහ 07 යන දිනවල ලෝකයේ බොහෝ ප්‍රදේශවලට දරුණු වර්ෂාපතනය ජලගැලීම්, වැසිකුණාටු, නායයෑම් සහ උස් ගොඩනැගිලි කඩා වැටීම් යනාදී විපත් බහුල කරවන තත්ත්වයක් උද්ගත වෙයි. ජුනි මස 01දා සිට සක්‍රීය වන මේ දෙවැනි ශක්ති සංයෝගය හටගන්නා මධ්‍ය ලක්ෂය හා ශ්‍රී ලංකාව අතර දුර අංශක 90 ට අඩු හෙයින් දරුණු පීඩනයක් ශ්‍රී ලංකාවට එල්ල නොවන නමුත් ජුනි මස 01වැනිදා සිට 08වැනිදා දක්වා වු කාලයේදී එම සංයෝගය ශ්‍රී ලංකාව හරහා ගමන් ගනිමින් අපේ රට එම ශක්ති සංයෝගයේ මධ්‍ය ලක්ෂය බවට පත් කරන්නා වු අවස්ථාවක් ජුනි මස 03 වැනිදා සිට නිර්මාණය කෙරෙයි. එයින් පසුව එන කාලපරිච්ජේදය තුළ කෙටි එහෙත් දරුණු වැසි කුණාටු තත්ත්වයකට අපේ රටේ බොහෝ ප්‍රදේශ ගොදුරු වීමට වැඩි ඉඩක් පවතී.

දකුණු පළාත, බස්නාහිර පළාත, මධ්‍යම පළාත සහ උතුරු නැගෙනහිර ආශ්‍රිත ප්‍රෙද්ශ මේ තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවදානමක් සහිතයි. සමස්තයක් වශයෙන් ගත්කළ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ කෙටි එහෙත් අධික වර්ෂාපතනයකට නිරාවරණය වේ. ඇතැම් අවස්ථාවල අසාමාන්‍ය වර්ෂාව හට ගැනීම සදහා බලපාන සාධක සංයෝග වීමෙන් පැය 24ක් ඇතුළත එම වර්ෂාව පොළොවට ඇද හැලෙන අවස්ථා මෙන්ම එකී වර්ෂා සංයෝගය නිර්මාණය වුවත් එය පොළොව කරා පතිත වීමට නියමිත කාලය සහ භූ ගෝලීය ප්‍රදේශය සම්බන්ධයෙන් අනපේක්ෂිත තත්ත්වයන් හටගත හැකිය. එහෙයින් ජුනි 01වැනිදා සිට 8 වැනිදා දක්වා වු අවදානම් කාලපරිච්ජේදය එයින් ඔබ්බට ද ගමන් කළ හැකි අවස්ථා මෙහි පවති. කෙසේ නමුත් ඉතා පැහැදිලිව කිව හැක්කේ ජලය ආශ්‍රිත විපත්තිකර තත්ත්වය ඉදිරියටත් පවතින බවයි. 

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, මැදපෙරදිග සහ ඇමරිකානු යුරෝපියානු භූමි ප්‍රදේශ රැසකට මෙකී අවදානම ඉහළ මතුවෙයි. එහෙයින් ජලය ආශ්‍රිත විපත්තිකර කාලපරිච්ජේදය සදහා කොයි කවුරුත් සුදානම් වීම වැදගත්. 

ටොලමියානු ලෝකායන ජොතිෂය ආශ්‍රයෙන් කාලගුණික විපර්යාසයන් පිළිබදව ඉතා සාර්ථක පුරෝකතන කළ හැකි බව යළි යළි කිව යුතු නැත. මීට පෙර බොහෝ අවස්ථාවලදී අපි ඒ බව සනාථ කළෙමු. සංවහන වර්ෂාව යනු චක්‍රීය ස්වභාවයකින් පවතින්නක්. එකී සංවහන වර්ෂා සක්‍රීයවන දිනවකවානු කල්තබා කීමට පමණක් නොව එකී වර්ෂාව ජල විපත්තිකර තත්ත්වයක් දක්වා වර්ධනය වන්නේද නැද්ද යන්නත් මේ දැනුම් පද්ධතියෙන් පුරෝකතනය කළ හැක. වර්ෂාවක් හට ගැනීමට නම්, ඒ සදහා සුවිශේෂ රසායනික සංයෝගයක් හටගත යුතුය. එකී ස්වභාවික සංයෝගය හට ගන්නේ කවදාද එහි පරිමාව කොතෙක්ද, යන්න තක්සේරු කිරීම මත ජලය ආශ්‍රිත ආපදා තත්ත්වයක් හටගන්නේද නැද්ද යන්න තීරණය කරන්න පුළුවන්. ඒ සදහා අප විසින් උපයෝගිකර ගනු ලබන්නේ පෘථිවිය වටා වු හිරු සඳු ඇතුලු ග්‍රහ මණ්ඩලයේ චලනය හා පෘථිවියට සාපේක්ෂ ජ්‍යාමිතික කෝණයයි. වර්ෂාව සාමාන්‍ය සංසිද්ධියක් වුවත් එකී වර්ෂාව හට ගැනීමට නම් ඊට අවශ්‍ය සාධක ගොනු විය යුතුයි. එසේ නැතිව ඉබේට වැසි වසින්නේ නැත. වර්ෂාව යනු අපි දකින ඵලයයි. ලෝකායන ජොතිශය යනු එහි හේතුව සොයා යෑමයි. සෑම වසරකම හට ගන්නා වු ඊසාන හා නිරිත දිගමෝසම් වර්ෂාව යනු එකම චක්‍රයක් හරහා වැටුණු අක්ෂයක අග්‍ර දෙකක්. එහෙත් සෑම වර්ෂයකම එකී චක්‍රය එකම ආකාරයකින් එකම කාලපරිච්ජේදයක් තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. මැයි, ජුනි දෙමාසයේ නිරිත දිග මෝසම සක්‍රීය වීම සමාන්‍ය දෙයක්‍ වුවත් ඒ එසේ වන්නේ ඇයි? එය ඉබේටම සිදුවන්නක් නොවේ. මැයි ජුනි දෙමාසය උදා වුවත් වර්ෂා කාලය වෙනුවට දරුණු නියඟය සහ ඉඩෝර පැමිණි අවස්ථාවන් අප අත්දැක තිබේ. එසේ වීමට හේතුව කුමක්ද? ඇතැමුන් ජනප්‍රිය ලෙස කියන පරිදි එල්නිනෝ, ලානිනා ආදී කතන්දර සියල්ලම ද්විතීක කාරණා මිස වර්ෂාව හෝ ඉඩෝරය සඳහා බලපාන්නා වු ප්‍රධාන හේතුන් නොවේ. පෙර කී තත්ත්වයන් හේතු කොටගෙන පාරිසරික ව්‍යසනයන් සිදුවන නමුත් වැසි වැටෙන්නේද නොවසින්නේද යන්න තීරණය කිරීමට ඒ එකම කාරණයක්වත් මහ පොදු සාධකය වන්නේ නැත. වර්ෂාව සදහා බලපාන හේතු සාධක මොනවාදැයි වෙනම ම සාකච්ඡා කළ යුතු තරම් සංකීර්ණ මාතාකාවකි. ටොලමියානු ලෝකායන ජොතිශය විසින් වර්ෂාව ඇති වීම, වර්ෂාවේ ස්වභාවය පිළිබඳව නිගමනය කරනු ලබන්නේ ඊටම අනන්‍ය වු සිද්ධාන්තවලිනි. කුමන පරිසරයක් පැවතියද, වර්ෂාව හට ගැනීම සදහා උචිත රසායනික සංයෝගය හටගන්නේ නම් එම භූමියට වර්ෂාව පතිත වේ. එහෙත් එකී වර්ෂාව ප්‍රකෘතිමත් ලෙස ලබා ගැනීමට නම් පාරිසරික සහ මිනිස් ක්‍රියාකාරකම් අතර ඇති සම්බන්ධය බැහැර කළ නොහැක. මැයි- ජුනි කාල පරිච්ජේදයේ නිරිත දිග මෝසම සක්‍රීය වන්නේ කැලැන්ඩරය අනුව නොව වර්ෂාව සඳහා උචිත වු රසායනික සංයෝගය හට ගැනීමේ මුලීක කොන්දේසියට යටත්වය. අප විසින් කරනු ලබන්නේ එකී තත්ත්වය කල්තබා පුරෝකතනය කිරීම පමණි. 

අවසන් වශයෙන් සදහන් කළ යුතු වන්නේ ජුනි මස 01 වැනිදා සිට 8වැනිදා දක්වා කාලය අධික ජල විපත් හා වර්ෂා සහිත කාලයක් වන බැවින් ඒ පිළිබදව සැළකිළි මත් විය යුතු බවයි. මෙකී තත්ත්වය විටින් විට ජුනි මස 23 වැනිදා දක්වාද අපේක්ෂා කළ යුතුව තිබෙනවා. සංවහන වර්ෂාව සහ ග්‍රහ චලනය අතර ඇති සම්බන්ධය ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීම වැදගත් වන හෙයින් මතුවට ඒ සඳහා යොමු වෙමු.

ටොලමියානු ජ්‍යෝතිෂ්‍යවේදී කේ.සී.ජේ. රත්නායකයක - 0771620070



ශක්ති චක්‍ර සංයෝගය ජුනි මස 01 වැනිදා සිට පෙරටත් වඩා වැඩි පරිමාවකින් සහ තීව්‍ර තාවයකින් යුතුව සක්‍රීය වන බව ටොලමියානු ජොතිශය අනුව පෙන්නුම් කරයි