මහාචාර්ය සෝමදේව හෙළිකළ රාවණාගේ ඉතිහාසය

රාවණා රජ්ජුරුවෝ කියන්නේ මීට අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ලා පුරාවෘත්තයක් උනාට අදටත් රාවණා රජ්ජුරුවෝ පුවත් මවන්නෙක්. අපි මෙහෙම කියන්නේ රාවණා හිටියද නැද්ද කියන එක ගැන වගේම රාවණා ගැන තියෙන කතන්දර සිද්ධි ස්ථාන හා තර්ක අදටත් යාවත් කාලින වන නිසා. රාවණා කියන්නේ හුදු සංකල්පයක් ය එහෙම එක්කෙනෙක් ලොවෙත් හිටියේ නෑ කියන අයත් ඕනෑ තරම්. ඒත් රාවණා ගැන එතුමාගේ යුගය ගැන දැඩි ව විශ්වාස කරන ඒ ගැන බොහොම උනන්දුවෙන් සොයා බලන අය ඉන්නේ නම් අතලොස්සක් නෙමෙයි.

රාවණා යුගයක් තිබ්බේ නෑ කියලා තර්ක කරන අය ගොඩ නගන ලොකුම තර්කය තමයි රාවණා යුගය ගැන පිළිගන්න පුළුවන් සාක්ෂි නැහැයි කියන එක. ඒත් ඒ තර්කය ඉතා පහසුවෙන් බිඳින්න පුළුවන්. මොකෝ බුදුන් ලක්දිවට වැඩියා කියලා කිව්වට ඒකටත් එහෙමනම් සාක්ෂි නැහැනේ.

විජය කුමාරයා ලංකාවට ගොඩ බහිද්දී කුවේණිය කපු කටිමින් හිටියා කියන්නෙම අපේ සමාජය විවිධ කර්මාන්ත දන්නා දියුණු ජාතියක් වෙලා හිටියා කියන එකයි. ලොකුම දේ තමයි රාවණා ඉතිහාස කතාව දිවෙන්නේ පුස් කොළ පොත් හරහා වීම. ඇත්තටම බැලුවොත් විජයට කළින් ලංකා ඉතිහාසය තියෙන්නේ පුස් කොළ පොත්වල තමයි. පුස් කොළ පොතේ තිබුණා කියලා ඒ කියන ඉතිහාසය බොරුවක් කියලවත් සියයට සියයක් ඇත්තක් කියලවත් කියන්න කාටවත් බෑ.

අපේ කතා නායකයා මහාචාර්ය රාජ් සෝමදේව.  එතුමා තමන්ගේ තනතුරට සිමා නොවී පර්යේෂණ, ගවේෂණ හා නිරීක්ෂණ අතර ඉන්න අපේ කාලයේ විශිෂ්ටතම පුරා විද්‍යාඥයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව හෙව්වේ මහින්දාගමනයට පෙර ඉතිහාසේ විතරක් නෙමෙයි විජයට පෙර ලංකා ඉතිහාසයත් එතුමාගේ පුරා විද්‍යා ගවේෂණයට හසුවෙනවා. ඒ වගේ කෙනෙක් රාවණා ගැන කියන දේ අද අපි අහමු.

මහාචාර්යතුමා කියන විදියට රාවණා යුගයේ වුනා ය කියන සිදුවීම් හුදු ප්‍රලාපයක්, මිත්‍යාවක් කියලා කියන්න පුළුවන්කමක් නෑ. හොයන්න ඕන අය ඒ ගැන හොයලා බලන එක තමයි නුවණට හුරු. මේ ඔහු කියන කතාව.

“ රාවණා යුගය පිළිබඳ ඉතිහාසය සමාජයේ මට්ටම් දෙකක් තියෙනවා. එකක් ඉන්දියාවේ රාමායනය  ඇසුරින් රාම රාවණා කතා පුවත පරිශීලනය කරලා රාවණාගේ ඓතිහාසිකත්වය ගැන කතා කරන මට්ටම. දෙවැනි මට්ටම තමයි රාමායනය වගේ සාහිත්‍ය කෘතියක ආභාෂය නොගෙන මේ රටේ රාවණා කියලා රජ කෙනෙක් හිටියා ය කියලා පැහැදිලි විශ්වාසයක ඉන්න සාමාන්‍ය පන්තියේ මිනිස්සුන්ගේ මට්ටම.”

“ මම වැඩිදුර උනන්දුවෙලා ඉන්නේ ඉන්දීය රාමායනයේ රාම රාවණ කතා පුවත ආශ්‍රිතව කටයුතු කරන අයගේ රාවණා ගැන නෙවෙයි.  මම වැඩිපුර කුතුහලයෙන් ඉන්නේ මේ රටේ ඈත ගම් දනව්වල නියමානුකුල ලෙස අධ්‍යාපනයක් නොලබපු  සාමාන්‍ය ජනතාව විශ්වාස කරන අපේ රටේ සිටියා යයි කියන මහා ප්‍රතාපවත් රාවණා රජ්ජුරුවෝ ගැනයි.”

මහාචාර්ය සෝමදේව කියන විදියට පහුගිය සියවස පුරාවටම රාවණා සහ රාවණා යුගය ගැන සැළකිය යුතු මට්ටමේ පර්යේෂණයක් කරන්න අපේ පුරා විද්‍යාඥයෝ සමත් වෙලා නෑ. පුරා විද්‍යාඥයෝ සොයාගන්න සමහර තොරතුරු මිට අවුරුදු තිස් දාහකට හතලිස් දාහකට එහා ඒවා. ඉතින් මිට අවුරුදු පන් දහසකට කලින් ජිවත් වුනා ය කියන රාවණා ගැන හොයන්න නූතන පුරා විද්‍යාවට පැහැදිලි පුළුවන් කමක් තියෙනවා.  ඒ නිසා සොයා බැලුවේ නැති පලියටම රාවණා කියලා රජෙක් හිටියේ නැහැ ය  රාවනා යුගය මිත්‍යාවක් ය කියලා එක හෙලා බැහැර කරන්න පුරා විද්‍යාඥයෙක්ට පුළුවන් ද කියලා මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රශ්න කරනවා.

කලකට පෙර මහාචාර්ය සෝමදේව ප්‍රමුඛ පිරිස ලංකාවේ හල්දුම්මුල්ල, හපුතලේ වගේ පිටිසර පළාත්වල කරපු පර්යේෂණ වලින් මිට අවුරුදු හාර දහසකටත් කලින් ජිවත් වෙච්ච මිනිස්සුන්ගේ විස්තර හොයාගෙන තියෙනවා. ඔවුන් නොදියුණු ජාතියක් නෙමෙයි. මළවුන් ආදාහනය කිරීමත් ක්‍රමානුකුලව  කරපු කට්ටියක්. වලන් හදන්න සකපෝරුව පවා පාවිච්චි කරන්න දන්න කට්ටියක්. ඒ විතරක් නෙවෙයි යකඩ නිෂ්පාදනය කරන තාක්ෂණය  පවා ඔවුන් දැනගෙන ඉඳලා තියෙනවා.

මහාචාර්ය රාජ් සෝමදේවට අනුව මේ පර්යේෂණ ඉදිරියේදී තවත් පුළුල් වේවි. සාමාන්‍ය ජනතාව විශ්වාස කරන ප්‍රතාපවත් රාවණා ජීවත්වෙලා තියෙන්නේ කඳුකරයේ.  දැනට කඳුකරයේ ඉතිහාසය ගැන කරපු ගවේෂණවලින් රැස්කර ගත්ත තොරතුරුයි, රාවණා යුගයේ ඉතිහාස කතාවයි පැහෙන විදිය හොඳින්ම තේරෙනවා කියලයි මහාචාර්යතුමා කියන්නේ. රාවණා ගැන විතරක් හොයන්න පර්යේෂණ නොකලට දිගු කාලයක ඉඳලා සමාජයේ තියෙන රාවණා පුවත මේ පර්යේෂණ හරහා ප්‍රායෝගිකව සත්‍ය වෙමින් පවතිනවා කියලා එතුමා වැඩිදුරටත් කියනවා. ලකේගල, හල්දුම්මුල්ල, බැන සමනළ, දිඹුලාගල වගේ පැතිවල පර්යේෂණ ඉවර වෙද්දී නම් බොහෝවිට අවුරුදු හාර දාහකට එහා ඉතිහාසේ රස මුසු තැන් වගේම රාවණා ගැන තොරතුරුත් හොයාගන්න පුළුවන් වෙයි ලු.

තවදුරටත් මේ ගැන අදහස් දක්වන මහාචාර්ය රාජ් සෝමදේව මෙහෙම කියනවා.

“ රාවණා යුගය ගැන මට නම් තියෙන්නේ සුබවාදී ආකල්පයක්. අවුරුදු හාර දහසකට කළින් දියුණු ශිෂ්ටාචාරයක ලකුණු දැනටමත් හොයාගෙන තියෙනවා. ඉදිරියටත් හොයා ගනිමින් යනවා. මේ පිළිබඳ අපි පර්යේෂණ කරන්නේ ඉතාම දුෂ්කර තැන්වල. රටේ ජනතාව ආදරයෙන් වැළඳ ගත්ත යුගයක් ගැන. රාවණා යුගය තිබුණයි කියලා සාමාන්‍ය ජනතාව කියනවානම් පුරා විද්‍යාඥයෝ හැටියට අපිට වගකීමක් තියෙනවා ඉතිහාසය පිළිබඳව මහජනයා දරණ මතවාදයේ විද්‍යාත්මක භාවය, ශාස්ත්‍රීය පසුබිම ගැන පර්යේෂණ පවත්වන්න.” 

පුරා විද්‍යාව පිළිබඳ ජෞෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් කියන මේ කතාව අනුව රාවණා ඉතිහාසය පෑදෙමින් තියෙන්නේ. දියුණු ශිෂ්ටාචාර ලකුණු හොයාගනිමින් තියෙන්නේ. රාවණා රජ්ජුරුවෝ කියන්නේ හින්දු භක්තිකයෙක් වත් විජාතිකයෙක් වත් නෙවෙයි. ලංකාවේ රජ කෙනෙක්. ඒ වගේ රාජකීය යුගයක් බොරු ය කියලා කියන්න කාටවත් බැරි වෙයි කියලයි අපි හිතන්නේ.



රාවණා රජ්ජුරුවෝ කියන්නේ මීට අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ලා පුරාවෘත්තයක් උනාට අදටත් රාවණා රජ්ජුරුවෝ පුවත් මවන්නෙක්. අපි මෙහෙම කියන්නේ රාවණා හිටියද නැද්ද කියන එක ගැන වගේම රාවණා ගැන තියෙන කතන්දර සිද්ධි ස්ථාන හා තර්ක අදටත් යාවත් කාලින වන නිසා.