රසින් සුවඳින් සපිරි මැලේ සම්බෝල හදාගන්නේ මෙහෙමයි

මැලේවරුන් හට ආවේණික නාසි ගෝරෙං ප්‍රමුඛ විවිධ මැලේ බත් වර්ග, කුකුල් මස්‌, හරක්‌ මස්‌ සහ එළු මස්‌ මූලික කර ගනිමින් විවිධාකාරයෙන් සකස්‌ කරගනු ලබන මාංශ වෑංජන වර්ග, එළවළු, පලා සහ මැල්ලුම් වර්ග පිළිබඳව මේ දක්‌වා දැනුවත් වූ ඔබ වෙත මැලේ ආහාර වට්‌ටෝරු පද්ධතියේ මීළඟ පියවර ලෙස මෙවර ඉදිරිපත් කරන්නේ මැලේ සම්බෝල වර්ග පිළිබඳවය. දැන් අපි එම සම්බෝල වර්ග විමසා බලමු.

මැලේවරු තම බත් පිඟාන සමග මුසුකර ගන්නා එක්‌ ප්‍රධාන සම්බෝල වර්යගක්‌ වන්නේ "කන්ජි සම්බෝල" වේ.

ඒ සඳහා යොදාගන්නා ද්‍රව්‍ය මෙසේය...

1. ගාන ලද පොල් ගෙඩි භාගයක්‌

2. කුඩා උම්බලකඩ කැබලි මේස හැඳි 3 ක්‌

3. වියළි මිරිස්‌ කැබලි මේස හැඳි 2 ක්‌

4. පෙති ගැසූ අමු මිරිස්‌ කරල් 2 ක්‌.

5. බොම්බයි ලූනු ගෙඩි 1 ක්‌

6. සුදු ලූනු බික්‌ 3 ක්‌

7. රසගැන්වීම පිණිස දෙහි යුෂ සහ ලුණු

සාදාගන්නා ක්‍රමය

ගාන ලද පොල් ප්‍රමාණය සුදුසු භාජනයක දමා රන්වන් දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ බැදගන්න. බොම්බයි ලූනු, වියළි මිරිස්‌, අමු මිරිස්‌ සහ සුදු ලූනු අඹරාගෙන, බදින ලද පොල් සහ උම්බලකඩ කැබලි ඊට එක්‌කොට හොඳින් මිශ්‍ර කරගන්න. එසේ මැනවින් අනාගන්නා ලද සම්බෝලය දෙහි යුෂ සහ ලුණු මගින් රස ගන්වා කෑමට පාවිච්චි කරන්න. මෙම සම්බෝල වර්ගය බෙහෙවින් යොදාගනු ලබන්නේ මැලේවරුන් අතර ජනප්‍රිය කැඳවර්ග සමඟ මුසුකර ගැනීමටය. එය "කැඳ සම්බෝල" ලෙස හඳුන්වන්නේ ඒ අරුතිනි.

කරවිල සම්බෝලයද මැලේවරුන් අතර ඉතා ජනප්‍රිය ඊට ආවේණික රසයකින් යුත් ආහාර විශේෂයකි. කරවිල නම්වූ සුවිශේෂ එළවළු වර්ගය මගින් ලබාදෙන රසය අනුව ඒවා සුවසහන කාරක ඵලයක්‌ ලෙස හෝ තිත්ත කොමඩු ලෙස හැඳින්වීම මැලේවරුන්ගේ සිරිතය. පිසීම සඳහා සුදුසු වන්නේ නොමේරූ ළපටි කරවිල වේ. පිසීමට යොදාගත යුතු කරවිල ගෙඩිය මතුපිට පැහැපත් හරිත වර්ණයෙන් යුතු වන අතර මදය සුදු පැහැතිය. මෘදු කුඩා ඇටවලින් සමන්විතය. ගැටිති සහිත එහි මතුපිට ඇත්තේ රළු පෙනුමකි. මේරූ කරිවිල ගෙඩි භාවිතයට නොගනී. එසේම ගර්භනී මව්වරුන් හට කරවිල ආශ්‍රිත කෑම සුදුසු නොවේ.

මේ අනුව කරවිල සම්බෝලය පිළියෙල කර ගැනීම සඳහා යොදාගන්නා ද්‍රව්‍ය මෙසේය.

1. පෙති ගැසූ කරවිල ග්‍රෑම් 250 ක්‌

2. පෙති ගැසූ ලොකු ලූනු ගෙඩි 1 ක්‌

3. පෙති ගැසූ අමු මිරිස්‌ කරල් 1 ක්‌

4. හතරට කැපූ තක්‌කාලි ගෙඩි 1 ක්‌

5. යෝගට්‌ කෝප්ප 1/4 ක්‌

6. සීනි තේ හැඳි 1/4 ක්‌

7. විනාකිරි තේ හැඳි 2ක්‌

8. පොල් කිරි මේස හැඳි 2 ක්‌

9. රස ගැන්වීම පිණිස ලුණු සහ ගම්මිරිස්‌ ස්‌වල්පයක්‌

සාදා ගන්නා ක්‍රමය

කැපූ කරවිල පෙති, ලුණු හා විනාකිරි තේ හැඳි 1 ක්‌ සමඟ මුසුකොට හොඳින් පදම් වීම සඳහා විනාඩි 10 ක කාලයක්‌ පසෙක තබන්න. ඉන්පසු කරවිල පෙති හොඳින් මිරිකා එහි දියර ඉවත්කොට සුදුසු බඳුනකට දමන්න. පෙති ගැසූ ලූනු, අමු මිරිස්‌, තක්‌කාලි, ලුණු සහ ගම්මිරිස්‌ කරවිල සමඟ මිශ්‍රකොට ඇඟිලි තුඩුවලින් හොදින් මුසුකර ගන්න. ඉතිරි විනාකිරි සහ සීනි ප්‍රමාණය ඊට එක්‌කොට නැවතත් හොඳින් අතගා මිශ්‍ර කරන්න. ඉන්පසු යෝගට්‌, පොලි කිරි, ලුණු සහ ගම්මිරිස්‌ ස්‌වල්පයක්‌ ඊට එක්‌කර ගන්න.

මෙම කරවිල සම්බෝලය බතෙහි රස තීව්‍ර කරන කදිම වෑංජනයකි. කරවිල වෙනුවට බෝංචි, තක්‌කලි, මාළු මිරිස්‌, හෝ පිපිඤ්ඤා යොදා ගනිමින් මේ අයුරින්ම තවත් සම්බෝල විශේෂ 4ක්‌ පිළියෙල කර ගැනීමට මැලේ ගෘහනියන් හුරුවී සිටිති.

මැලේ ගෘහනියෝ තම කෑම මේසය සකසන තවත් මැලේ සම්බෝල විශේෂයක්‌ වන්නේ උම්බලකඩ සම්බෝල වේ. ඒ සඳහා යොදාගනු ලබන ද්‍රව්‍ය මෙසේය.

1. හොඳින් කුඩු කරගත් උම්බලකඩ ග්‍රෑම් 150 ක්‌

2. ගාන ලද පොල් කෝප්ප 1 ක්‌

3. වියළි මිරිස්‌ කැබලි මේස හැඳි 1 ක්‌

4. සීනි තේ හැඳි 1 ක්‌

5. යාන්තමට පොඩි කළ සුවඳවත් ඉඟුරු පෙත්තක්‌

6. කර පිංචා ස්‌වල්පයක්

7. රම්පෙ ස්‌වල්පයක්‌

8. යන්තමට තලාගත් අඟල් 2 සේර කැබැල්ලක්‌

9. කරද මුංගු කරල් 5 ක්‌

10. කරාබු නැටි 5 ක්‌

11. අඟල් 2 ක ප්‍රමාණයේ කුරුඳු කැබලි 1 ක්‌

12. මනා ලෙස කුඩුකරගත් තුනපහ කුඩු මේස හැඳි 1ක්‌

13. රස ගැන්වීම සඳහා ලුණු සහ සියඹලා ඉස්‌ම ස්‌වල්පයක්‌

14. පිසීමට ගන්නා තෙල් බෝතල් 1/4 ක්‌

සාදා ගන්නා ක්‍රමය

සුදුසු බඳුනක බහා ළිපේ තබා රත්කර ගන්නා ලද තෙල් නටද්දී ඊට ගාන ලද පොල් ප්‍රමාණය එක්‌කොට රන්වන් දුඹුරු පැහැ ගැන්වෙන තාක්‌ බැද ගන්න. ඉන්පසු පෙරණයක්‌ මගින් එහි තෙල් ඉවත් කර ගන්න. එකී තෙල්වලට උම්බලකඩ කරපිංචා, රම්පේ සහ කුළු බඩු වර්ග එක්‌කොට මද ගින්නේ බැද ගන්න. ඉන්පසු එම මිශ්‍රණයෙන් තෙල් ඉවත් කොට ඊට බැද ගන්නා ලද පොල්, වියළි මිරිස්‌, සේර, සුවඳවත් ඉඟුරු, සීනි, ලුණු සහ සියඹලා ඉස්‌ම එක්‌කරන්න. අනතුරුව එය මද ගින්නේ තබා ඊට තුනපහ කුඩුද එක්‌කොට කලවම් කර ගන්න. මෙම උම්බලකඩ සම්බෝලය මාසයක පමණ කාලයක්‌ ගබඩා කර තබා ගනිමින් පාවිච්චියට ගත හැකිවේ.

මැලේවරු විසින් සකස්‌ කර ගනු ලබන තවත් සම්බෝල විශේෂයක්‌ වන්නේ ලූනු සම්බෝල වේ. ඒ සඳහා යොදාගනු ලබන ද්‍රව්‍ය මෙසේය.

1. හොඳින් පෙතිගැසූ බොම්බයි ලූනු  ග්‍රෑම් 300 ක්‌

2. උම්බලකඩ කුඩු කෝප්ප 2ක්‌

3. වියළි මිරිස්‌ කැබලි මේස හැඳි 2ක්‌

4. කරඳ මුංගු 5ක්‌

5. කරාබු නැටි 5 ක්‌

6. අඟල් 2 කුරුඳු කැබලි 1ක්‌

7. සීනි තේ හැඳි 1ක්‌

8. රම්පෙ සහ කරපිංචා ස්‌වල්පයක්‌

9. සියඹලා ඉස්‌ම හෝ දෙහි යුෂ සහ ලුණු

10. පිසීමට ගන්නා තෙල් බෝතල් 1/4 ක්‌

සාදා ගන්නා ක්‍රමය

පෙති ගැසූ ලූනු, රම්පේ සහ කරපිංචා සමග තෙලෙහි දමා රන්වන් දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ බැදගෙන මඳකට පසෙක තබන්න. ඉන්පසු එහි තෙල් ඉවත්කොට ඇඟිලි තුඩුවලින් හොඳින්a අනා උම්බලකඩ කුඩු, කුළු බඩු වර්ග, ලුණු, දෙහි යුෂ හෝ සියඹලා ඉස්‌ම, වියළි මිරිස්‌ කැබලි සහ සීනි ඊට එක්‌කර ගන්න. මෙකී මිශ්‍රණය හොඳින් කලවම් කොට විනාඩි කීපයක්‌ මඳ ගින්නේ තිබෙන්නට හැර ළිපෙන් බා හොඳින් කලවම් කර ගන්න. එය බත රසවත් කරන කදිම සම්බෝලයක්‌ වන්නට සැකයක්‌ නැත.

එඩ්වඩ් චන්ද්‍රසිරි

දිවයින ඇසුරිණි



මැලේවරුන් හට ආවේණික නාසි ගෝරෙං ප්‍රමුඛ විවිධ මැලේ බත් වර්ග, කුකුල් මස්‌, හරක්‌ මස්‌ සහ එළු මස්‌ මූලික කර ගනිමින් විවිධාකාරයෙන් සකස්‌ කරගනු ලබන මාංශ වෑංජන වර්ග, එළවළු, පලා සහ මැල්ලුම් වර්ග ගැන අසා ඇත.