රුධිර නාළ අවහිර කරන කොලෙස්‌ටරෝල් නසන හෙළඔසු

කොලෙස්‌ටරෝල් වැඩිවීම නිසා සිරුරේ රුධිර පීඩනය වැඩිවීම සිදුවන්නේ කෙසේද?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක :- හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාළවල අභ්‍යන්තර බිත්තිවල මෙම කොලෙස්‌ටරෝල් තැන්පත් වීම සිදුවේ. එවිට එම නාළවල අභ්‍යන්තර කුහරය සිහින් වීම සිදුවේ. එම සිහින් වූ නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක්‌ දැරීමට සිදුවේ. සිරුරේ රුධිර නාළ කිහිපයක මෙලෙස කොලෙස්‌ටරෝල් තැන්පත් වීම නිසා රුධිරය ගමන් කිරීමට වැඩි පීඩනයක්‌ දැරීමට සිදුවේ. එවිට මෙම වැඩි පීඩනය දැරීම නිසා හෘදයට දරුණු බලපෑම් ඇතිවිය හැකිය.

- මෙලෙස රුධිර නාළ අවහිර වීමෙන් ශරීරයට ඇතිවන බලපෑම් මොනවාද?

- වෛද්‍ය රන්පත රුවන් රත්නායක :- කාලයක්‌ තිස්‌සේ මෙලෙස රුධිර නාළවල කොලෙස්‌ටරෝල් තැන්පත් වීමෙන් ඇතරෝඩා නමැති තෙල් කුටි හටගැනීම සිදුවේ. එවිට රුධිර නාළ අවහිර වී ඉන් ඔබ්බට රුධිරය ගලා යැම ඇනහිටීම සිදුවේ. එවිට එම නාළ හරහා රුධිරය ගලායන හෘදයේ සෛල කොටස්‌වලට නිසි පරිදි රුධිරය නොලැබීමෙන් එම සෛල මැරී යා හැකිය. එවිට පපුවේ වේදනාවක්‌ හටගන්නා අතර ඒ තත්ත්වය තීව්‍ර වීමෙන් හෘදය ඇනහිටී මරණය පවා ළඟවීමේ අවදානමක්‌ පවතී.

- මේ තත්ත්වයෙන් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද?

- ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- විශේෂයෙන්ම කළ යුත්තේ තම ශරීර සෞඛ්‍ය පිළිබඳ නිසි සැලකිල්ලක්‌ දැක්‌වීමය. ඒ අනුව අවුරුදු 35 -40 ඉක්‌මවන හැමෝම ආහාර පාලනය කිරීමට කටයුතු කළ යුතුයි. ව්‍යායාම කිරීම, වෙහෙස වී වැඩකටයුතුවල යෙදීම ඉතා හොඳයි. අධික ලෙස සත්ත්ව තෙල් අඩංගු ආහාර වර්ග පාලනයක්‌ කරවා ගැනීම, බිත්තර කහ මද, මස්‌ වර්ග පාලනයකින් යුතුව ආහාරයට එක්‌කර ගත යුතුය.

ආහාර ජීර්ණයේදී ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා කොලෙස්‌ටරෝල් හටගැනීම සිදුවේ. මේද කොටස්‌ අක්‍රමවත් ලෙස හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයකට ලක්‌වීම හේතුවක්‌ ලෙස කොලෙස්‌ටරෝල් ඉහළ යැමට හැකිය. මෙම කොලෙස්‌ටරෝල් හිතකර සහ අහිතකර ලෙස සිරුරට බලපායි. නිවැරදි ලෙස මේදය ජීර්ණය වුණේ නම් ඒවා ශක්‌තිය ලෙස එක්‌ වේ.

- ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම කොලෙස්‌ටරෝල් විනාශ කිරීම සඳහා ප්‍රතිකර්ම තිබෙනවාද?

- ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා :- ආයුර්වේදයේ මෙම කොලෙස්‌ටරෝල් හඳුන්වන්නේ පිත්තස්‌නේහ ලෙසය. එනම් නිවැරදි ලෙස නොදිරවූ මේද කොටස්‌ය. ඒවා ආම රසය ලෙස ද හඳුන්වනු ලැබේ. ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීමට පෙර ශරීරයේ කොලෙස්‌ටරෝල් හටගන්නා ක්‍රමවේද ද නිසිලෙස වටහාගෙන ප්‍රතිකාර ඇරඹිය යුතුය. ආම පාමක නම් ඖෂධ මගින් රුධිර නාළ හෝ වෙනත් තැනක ඇති අහිතකර කොලෙස්‌ටරෝල් නැවත ජීර්ණය කරවීම සිදුවේ. මෘදු විරේඛන ඖෂධ මගින් එම අහිතකර පදාර්ථ මළ, මුත්‍ර හා දහදිය මාර්ගවලින් පිට කිරීම සිදුකරයි.

ඒ හා සමඟම ලබාදෙන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලුතෙන් එක්‌වන මේද කොටස්‌ නිවැරදි ආකාරයට ජීර්ණය වී ශක්‌තිය ලෙස නැවත ශරීරයට ලබාදීම සිදුකරයි. මෙලෙස ප්‍රතිකාර කිරීම තුළින් ඉතා කෙටි කලකින්ම කොලෙස්‌ටරෝල් රෝගයට ගොදුරුව සිටින රෝගීන්ට සුවය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
දිවයින ඇසුරිණි




හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාළවල අභ්‍යන්තර බිත්තිවල මෙම කොලෙස්‌ටරෝල් තැන්පත් වීම සිදුවේ. එවිට එම නාළවල අභ්‍යන්තර කුහරය සිහින් වීම සිදුවේ. එම සිහින් වූ නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක්‌ දැරීමට සිදුවේ. සිරුරේ රුධිර නාළ කිහිපයක මෙලෙස කොලෙස්‌ටරෝල් තැන්පත් වීම නිසා රුධිරය ගමන් කිරීමට වැඩි පීඩනයක්‌ දැරීමට සිදුවේ. එවිට මෙම වැඩි පීඩනය දැරීම නිසා හෘදයට දරුණු බලපෑම් ඇතිවිය හැකිය.