මිනී කනත්ත ළඟින් ගිය තරුණයාගේ පිටට ගැසූ මහසෝනා

ඈත අතීතයේ ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳට සිදු කළ නොමනා ක‍්‍රියාවක් හේතුවෙන් ගෝඨයිම්බර සහ ජයසේන අතර අරගලයක් ඇති විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ගෝඨයිම්බර සහ ජයසේන අතර ද්වන්ධ සටනක් යෝජනා වූ අතර එම දිනය උදාවිය. 

මෙහිදී ගෝඨයිම්බර යෝධයා අට ඉස්බක් අහසට පැන නැඟ ගැසූ පහරකදී ගෝඨයිම්බරගේ පාදයේ සුළැඟිල්ලක් වැදී ජයසේනගේ හිස ගැලවී ඈතට විසිවුණේය. මෙය දුටු සෙනසුරු එම හිසක් නැති කඳට හිසක් සෙවූ නමුත් එය සොයාගත නොහැකිව සිටින අතරතුරදී හමුවූයේ වළසෙකි. වළසාගේ හිස කරකවා ගලවා ගෙන ආ සෙනසුරු එම වළස් හිස ජයසේනගේ සිරුරට සවි කළ අතර, කලබලය නිසාම එය සවි කළේ මඳක් දකුණට ඇළවය. 

මෙයින් පසුව ජයසේන දුටු මිනිස්සු බියට පත්වී දුවන්නට වූහ. සමාජයට මුහුණ දීමට නොහැකි වූ ජයසේන පසුව සොහොන් බිම් ආශ‍්‍රයේ කල් ගෙවූ අතර, සොහොන්වල ගැවසීම නිසා ජයසේන වෙනුවට ‘මහසෝන’ නම ඔහුට පටබැඳුණි. පසුකාලීනව ‘මහසෝන් යක්ෂයා’ හා මහසෝන් දේවතාවා’ ලෙස මිනිසුන් අතර ජනප‍්‍රිය විය. ඔහුගේ ක‍්‍රියා බොහොමයක් භයානකය. ත‍්‍රාසජනකය. මිනිසුන්ට එම බලපෑමෙන් මිදීම එතරම් පහසු කාර්යයක් නොවීය. 

නොයෙකුත් යක්ෂයින් පිළිබඳව අප සමාජයේ ඔබ අප ඕනෑ තරම් අසා ඇත. මෙහිදී අතිප‍්‍රබල ප‍්‍රමුඛ ස්ථානයක් හිමි ​ෙවන යක්ෂයෙකි මහසෝනා. මිනිස් ඇඟත් වළස් මුහුණත් සහිත මෙම මහසෝන් යකා නාන තොටේ, තුන්මංසලේ, සිව් මංසලේ, සොහොන් භූමියේ, ආදී ස්ථානවල සිට මිනිසුන් බය කර මිනිසුන්ට ගසා ලෙඩ කරන බව ජන මතයයි. අනෙක් යකුන්ට වඩා මොහුගෙන් සෑදෙන රෝග මිනිසාට හානිකර ඒවා වේ. ඇතැම් විට මහසෝන් යකා ගැසූ පසු පිටේ පහරවල් ද ඇති ​ෙවන බව කියන අතර, ගම්මුන් විශ්වාස කරන්නේ මෙම යකාගෙන් ඇති වන රෝග සුව කිරීම අපහසු බවයි. 

අවුරුදු 16 ක් වයසැති සුනෙත් ඉගෙනීමට දක්ෂ පාසල් සිසුවෙකි. ඔහු ඉගෙනීමට දක්ෂ වුවද ඉදිරිපත්වීම්වලින් අඩු බියගුලු චරිතයකි. ඔහු දිනක් නිවසට එන්නේ හැන්දෑ යාමයේය. පාසලෙන් පසු උපකාරක පන්තියකට සහභාගි වීම නිසා මහත් විඩාවෙන් ඔහු පැමිණියේය. මෙලෙස හැන්දෑවේ පැමිණීම සුනෙත්ට එතරම්ම නුපුරුදු කාර්යයක් නොවේ. එලෙස තිබියදීත් මෙදින මොහුට අත්විඳින්නට වූයේ සිතා ගැනීමට පවා අපහසු දෙයකි. 

මහ වනයේ ඈත සිට මහ වවුලෝ රංචු පිටින් අහසේ පාවී යන්නේ පියාසර කරන හොල්මන් අවතාර මෙනි. පෙළෙන් පෙළට මේ අවතාරයෝ ගස් අස්සෙන් ලන්ද දිගේ දෙවට දිගේ පාළු සොහොන් කොත් දක්වා ඇදෙන්නට වුහ. ඉඳහිට උඩු බුරන බල්ලකුගේ හඬට මෙන්ම මහ වනයේ ඈත නරි රංචුවකගේ හූ හඬද දෙසවන් දෙවනත් කරන්නට සමත්ව ඇත. සුදුම සුදු ඉටිකොළ හොල්මන් අවතාර කතා කරන්නාක් මෙන් සොහොන දෙසින් සර සර ගා හඬ තලන්නට විය. සිදුවන්නේ කුමක්ද ? මහා විනාශයකි. පුදුමයකි. ඒ බව කිසිවකු දැන සිටියේ නැත. 

මොහු කෙමෙන් කෙමෙන් නිවස බලා ගමන් කරද්දී තම ගමේ ඇති සොහොන් බිම පසු කරන විට හැන්දෑවේ හය හමාරට ආසන්න වී ඇත. මේ ​ෙවනවිට ද සම්පූර්ණයෙන් කළුවර වී තිබුණේ නැති අතර, අඩ අඳුරක් සහිත විය. එකවිටම සොහොන් භූමිය දෙසින් තමා දෙසට කවුරුන් හෝ ගමන් කරන අඩි ශබ්දයක් ඇසිණි. තණකොළ, කටු පඳුරු පොඩි කරමින් එම අඩි ශබ්දය තමා දෙසටම එයි. සුනෙත් තිගැස්සී එක්වරම එදෙස හැරී බැලුවේය. මහා පුදුමයකි! මෙතරම් ශබ්ද නඟමින් කවුරුන් හෝ පැමිණෙනු ඇසුණද හැරී බැලූ විට කිසිවකුත් දක්නට නොමැති විය. ඒ සමඟම සුනෙත්ගේ බෙල්ල ඇවිළී ගියේය. 

යමෙක් පිටට වේගයෙන් ගැසූ බවක් දැනුණි. බුදු අම්මෝ ! කියා කෑ ගසමින් සුනෙත් ගෙදර බලා දිවයන්නට විය. මෙසේ දිවගිය ඔහු ”තාත්තේ මාව බේරගන්නකෝ” කියමින් ගෙදර මිදුලේ ඇද වැටුණි. එය ඇසුණු සුනෙත්ගේ මව ”අනේ පුතේ මොකද මේ වුණේ ” කියමින් කෑ ගසාගෙන ඒ අසලට දුවගෙන ආවාය. ”අනේ මගේ දරුවාට මොකද වුණේ” කියමින් වටපිටාවේ මිනිසුන්ටද කෑගසා අඬගසන්නට වූවාය. අම්මාගේ කෑගැසිල්ලට නිවසේ අය මෙන්ම අසල්වාසීහුද එදෙසට දිව ආවෝය. පිිරිස සුනෙත්ව ඔසවා නිවස තුළට ගෙන ඉස්තෝප්පුවේ තැබූහ. ඉක්මනින්ම වතුර ටිකක් ගෙන මුහුණේ තවරා පවන් සැලූහ. සෙමෙන් සෙමෙන් ඇස් ඇරි සුනෙත්ගේ මුහුණ පුදුමාකාර අයුරින් වෙනස් වී තිබිණ. සිහිකල්පනාවද හරි නැති පාටක් පෙනිණ. ”අනේ දරුවෝ කතා කරන්නකෝ ” කියමින් අම්මා වැලපෙන්නට වූවාය. අසල්වැසියකු විසින් සුනෙත් අල්ලා වාඩි කරනු ලැබිණ. නමුත් ඔහුගේ හැසිරීම වෙනස්ය. කට ඇරී, දිව එළියට ඇදී කෙළ බේරෙයි. දකුණු පැත්ත දෙස ම බෙල්ල හරවා බලා සිටී. කොයි තරම් මහන්සි ගත්තද ඔහු පියවි තත්ත්වයට පත් වෙන බවක් නැත. 

ඉක්මනින් ගොස් ගමේ සිටින යක් ඇදුරුතුමා ගෙන එන්නට අයෙක් යෝජනා කළෝය. ඇදුරුතුමා කැඳවාගෙන එනවිට පැය භාගයකටත් වැඩි කාලයක් ගතවී තිබිණ. ඒ ​ෙවනවිටත් සුනෙත් හිස වනමින් විකාර කරමින් දඟලමින් සිටියේය. ඒ අතර වරින් වර යටි ගිරියෙන් හූ හඬ දුන්නේය. ඇදුරුතුමා පැමිණ ඔහුගේ රාජකාරිය ඇරඹීය. 

මොහුගේ ලක්ෂණ දෙස හොඳින් බැලූ ඇදුරුතුමා පැහැදිලි වශයෙන්ම මෙය මහසෝන් යකාගේ බලපෑමක් බව සැක හැර දැනගත්තේය. 

‘‘මේ ළමයට මහසෝනා ගහලා. මේ බලන්න තවමත් පාරවලුත් තියෙනවා” කියමින් ඔහු සුනෙත්ගේ බෙල්ලේ එක් පසෙක තිබූ නිල් පැහැති පැල්ලමකුත් ඔහුගේ පිටේ තද රතු පැහැයට හුරු නිල් පැහැති පහරවල් දෙක තුනකුත් අන් අයට ද පෙන්වීය. 

පුදුමයට පත් අනික් සියල්ලෝ මහසෝනාගේ ඇඟිලි පහරවල් නොඉවසිල්ලෙන් බලන්නට වූහ. ඇදුරුතුමා පීරිසියකට දැමූ තෙල්, කහ කැබලි කිහිපයක් ගෙන එය මතුරමින් සුනෙත්ගේ නළලේ ගාන්නට විය. මෙලෙස විනාඩි කිහිපයක් මතුරන විට එළියට ඇදී තිබූ දිව ක‍්‍රමයෙන් ඇතුළට ගියේය. දකුණු පසට හැරී තිබුණු හිස සෙමෙන් සෙමෙන් ඉදිරිපසට හැරුණි. මුහුණේ තිබූ බිරාන්ත වූ ගතිය මඳක් අඩුවිය. ඔහු හොඳින් ඇස් ඇර වටපිට බැලීය. තමාට වැසිකිළි යාමට උවමනා බවක් සුනෙත් පැවසුවේය. ”මොයාව වැසිකිළියට ගෙන යන්න. හැබැයි තනි කරන්න එපා. දොර අසලම ඔබ කවුරුන් හෝ ඉන්න.” යැයි ඇදුරා නිවසේ අයට පැවසුවේය. 

මෙලෙස වරින් වර විශාල වාර ගණනක් වැසිකිළි යාමට අවශ්‍යතාව දැනුණු අතර, ලේ යන තරමටම බඩ එළිය යන්නට විය. ඉන්පසු නූලක් ද මතුරා කරට දැමූ ඇදුරා විසින් සිදුවීම පිළිබඳව සුනෙත්ගෙන් ප‍්‍රශ්න කරන්නට විය. බයෙන් බයෙන් සිදු වූ සියල්ලම ඔහු විසින් සෙමෙන් සෙමෙන් පවසන්නට විය. තමා පාසල ඇරී ඇවිදගෙන පැමිණි බවත් ඒ අතරම කනත්ත පසු කරනවාත් සමඟම කනත්ත පැත්තේ සිට කවුරුන් හෝ තමා දෙසට පැමිණෙන අඩි ශබ්ද ඇසුණු බවත් හැරී බලන විට කිසිවකු හෝ නොසිටි බවත් ඒ සමඟම වේගයෙන් කවුරුන් හෝ පිටට ගැසූ බවත් ඉන්පසු සිදුවූ කිසිවක් තමාට මතකයක් නොමැති බවත් සිහි එන විට මිනිසුන් තමා වට කරගෙන ඇදුරුතුමා මතුරන අයුරු දුටු බවත් ඔහු පැවසීය. 

‘‘ඊට අමතරව ඔබට දැන් මොනවද තිබෙන අමාරු?” ඇදුරුතුමා ඇසීය. ”මගේ මුළු ඇඟම රිදෙනවා. බෙල්ල කෙළින් කර ඉස්සරහ බලන් ඉන්නත් අමාරුයි. බෙල්ලට මොකක්ද වෙලා වගේ. වැසිකිළි යන හැම වෙලාවෙම වතුර වගේ බඩ ගසාගෙන යනවා” යි සුනෙත්ගේ පිළිතුර විය. 

”මේ කියන ඔක්කොම ටික මහසෝන් යකාගේ අසනීප. මොකද කරන්නේ. මම දන්න විදියට නම් මේකට ලොකු ශාන්ති කර්මයක් කළ යුතුයි.” යනුවෙන් ඇදුරුතුමා සුනෙත්ගේ දෙමාපියන් සහ ඒ අසල සිටි පිරිස දැනුම්වත් කරන්නට විය. ”මොනවා කරන්නද ඉතින් අමාරුවෙන් හරි කරන්න වෙනවනේ. මොකක්ද එහෙනම් මුලින්ම කරන්න ඕනැ” සුනෙත්ගේ තාත්තා ඇදුරුතුමාගෙන් විමසන්නට විය. ‘‘දැනට මෙහෙම ටික ටික අඩුවෙයි. මම උදේම ඇවිත් මේ නූල අලුත් කරලා මහසෝන් සමයමකට දින හතකට ඇප නූල් දමන්නම්” යැයි කියා ඇදුරුතුමා නික්ම ගියේය. 

එදින රාත‍්‍රී කාලයේ කිසිවකුටවත් නින්දක්වත් නැත. තරුණ පිරිස් මිදුලේ සිට හොල්මන් අවතාර සහ යක්ෂයින් ගැන කතා කරමින් සිටිති. අහල පහළ කුඩා දරුවෝ දෙමව්පියන් අසලටම වී බියෙන් පසුවෙති. සුනෙත්ගේ දෙමාපියන්ද අහල පහළ ඇතැම් පිරිස්ද සුනෙත් අසලට පැමිණ හිස අතගා ‘‘දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ නේ. දැන් ඉතින් හොඳයිනේ” කියා ඔහුගේ සිත සනසන්නට වූහ. පසු දින උදාවිය. ඇදුරුතුමා පැමිණ පෙර දින හැන්දෑවේ දැමූ නූල ගලවා දමා සත් දිනක් ඇතුළත මහසෝන් සමයමක් කරන ලෙසට තවත් නූලක් සුනෙත්ගේ කරට දැමුවේය. ‘‘දැන් ඉතින් හිමින් හිමින් සතියක් යන්නට කලින් බඩු භාණ්ඩ ටික ලෑස්ති කරගෙන තියාගත්තොත් හොඳා” යැයි අවශ්‍ය බඩු භාහිරාදිය ද ලියා දී නික්ම ගියේය. සුනෙත්ගේ තත්ත්වය ද කෙමෙන් සුව අතට හැරුණි. 

”දැන් ඉතින් තොවිලයට ඔක්කොම වියදම් වෙනකොට ලක්ෂයක් එකහමාරක්වත් හොයාගන්න වෙනවා. මේක කොහොමද කරන්නේ” කියමින් සුනෙත්ගේ තාත්තා ඥාති වැඩිහිටියන් හා සාකච්ඡා කරන්නට විය. නමුත් එහි සිටි සුනෙත්ගේ ඥාති සහෝදරයකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සනත්ගේ මතය වූයේ ”මාමලාට ඔච්චර වියදමක් කරගන්න බෑනේ. ඒක නිසා අපි ඕක වෛද්‍යවරයකුට පෙන්නලා බලමු” යන්නයි. 

නමුත් බහුතරයකගේ විරෝධය ඔහුට එල්ල විය. මුදල් සොයාගැනීමට ඇති අපහසුතාව නිසාත් සනත් උගත් දරුවකු නිසාත් ඔහුගේ කීම අපි සලකා බලමු යැයි සුනෙත්ගේ පියා එම අදහසට එකඟ විය. ඒ අනුව සුනෙත්ව ශ‍්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සභාපති මනෝ චිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරුණි. කරුණු සියල්ල විමසා බැලූ වෛද්‍ය විද්‍යාකුලපති මහතා විසින් මහසෝන් බලපෑම ඉවත් කිරීමේ මෙහෙයුම භාර ගැනුණි. 

මුලින්ම සිදුවීම ගැන හොඳින් අසා දැනගත් විද්‍යාකුලපති මහතා විසින් මුලින්ම සිදුකළේ සංයම අභ්‍යාස ලබාදී සුනෙත්ව සංයමයට පත්කිරීමයි. ඉන්පසු ‘‘දැන් මම ඔබේ ශරීරයට මහසෝන් බලපෑම යළිත් ඇති කරවනවා” කියමින් ”ඔබ දැන් මගේ අතේ තිබෙන මේ මුද්ද දිහා බලාගන්න. ඒ දෙසම බලාගෙන ඉන්න. ඔබේ ඇඟ සැහැල්ලු වෙන්නට ගනියි” කියමින් සුනෙත්ව මෝහන නිද්‍රාවට පත් කළේය. මහා පුදුමයකි! විද්‍යාකුලපති මහතා විසින් දැන් ඔබට එම බලපෑම ඇති වෙනවා කියනවාත් සමඟම සුනෙත්ගේ බෙල්ල පැත්තකට හැරී දිව ඇදී පෙර පරිදිම රෝග ලක්ෂණ මතුවිය. ඉන්පසු දැන් මම එම බලවේගය ඉවත් කරනවා’යි පැවසූ විද්‍යාකුලපති මහතා එම බලවේගය ඉවත් ​ෙවන ලෙසට සුනෙත්ගේ යටි සිතට විධාන දුණි. මෝහන නිද්‍රාවෙන් අවදි කළ සුනෙත්ගේ කරේ තිබූ ඇප නූලද කඩා ඉවත් කර සිදුවූ සිදුවීම පිළිබඳව විද්‍යාත්මකව පැහැදිලි කර දුන්නේ ප‍්‍රායෝගික කරුණක්ද සමඟිනි. 

‘‘මේක ඇත්තටම අධික භය නිසා හටගන්නා වූ මනෝ භාවයක්. මෙහිදී තමන්ගේ සිතේ තැන්පත් වී තිබූ මහසෝනා පිළිබඳ චිත්ත රූපය සහ මහසෝනා පිළිබඳව අසා තිබූ දේ යටි සිතේ තිබී එය ඉස්මතු වුණා. මහසෝනා යනු මිනිස් ඇඟක් සහිත වළස් මුහුණක් ඇති අයෙක් බවත් ඒ වළස් මුහුණද පැත්තකට හැරී ඇති බවත් දිව එළියට ඇදී ඇති බවත් සුනෙත් අසා තිබුණා. ඒ අනුව ඒ ආකාරයටම සුනෙත්ගේ මුහුණද පසෙකට හැරුණා. කට ඇරී දිව එළියට ඇදුණා. මෙය කිසි විටෙකත් සුනෙත් විසින් සිතා මතා සිදු නොකළ බවත් එය ඔහුගේ සිතේ ඇති වී තිබූ මනෝ භාවයක් මත සිදුවීමක් බවත් විද්‍යාකුලපති මහතා ප‍්‍රකාශ කළේය. එහෙම නම් පිටේ සහ බෙල්ලේ ඇඟිලි පහරවල් තිබුණේ කෙසේද යන්න ඔබට ගැටලුවක් පැන නැ​ෙඟ්. එය සිදුවූ ආකාරය ද විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පැහැදිලි කර දුණි. 

”අධික බයකදී ශරීරයේ රුධිර පීඩනය වැඩි වෙනවා. එවිට රුධිර නාළවල අධික රුධිර පීඩනය නිසා පිටේ සහ ඇතැම් ස්ථානවල පැල්ලම් ඇති වෙනවා. බෙල්ලේ පැල්ලම ඇති වී තිබෙන්නේ මොහු එක් වරම බියවී පිටුපස බැලීම නිසා බෙල්ලේ ඇති වූ ඇවිළීමක් හේතුවෙනි. එය සාමාන්‍යයෙන් පැය කිහිපයක් හෝ දින කිහිපයක් යන විට ක‍්‍රමයෙන් අඩු වේ. ඔබට තවත් අවශ්‍ය නම් මම මේක වැඩිදුර ඔප්පු කර පෙන්වන්නම්. ඔබ අතරින් කීප දෙනෙකු එයට කැමති නම් ඉදිරිපත් වන්න” යැයි විද්‍යාකුලපති මහතා යෝජනා කළේය. 

එහිදී එහි සිටි පිරිසෙන් පිරිමි හත් අට දෙ​ෙනක් පමණ මේ සඳහා ඉදිරිපත් වූහ. 

පළමුව විද්‍යාකුලපති මහතා විසින් මෙම පිරිස මෝහන නිද්‍රාවට පැමිණවීය. එහිදී ගැඹුරු මෝහනයට පත් එක් අයකු තෝරාගෙන ඔහුගේ ඇඟටද මහසෝනාගේ බලපෑම ඇති කරන බව පවසා ”ඔබේ ඇඟට දැන් මහසෝනාගේ බලපෑම ඇති වෙනවා. තව සුළු මොහොතක් යන විට සම්පූර්ණයෙන්ම ඔබේ ශරීරයට මහසෝන් බලපෑම ඇති වෙනවා” කියමින් විධාන කරන්නට විය. 

බලා සිටියවුන් මවිත කරවමින් එම පුද්ගලයාගේ හිසද ක‍්‍රමයෙන් එක් පැත්තකට බර විය. කට ඇරී දිව එළියට ඇදුණි. බැලූ බැල්මටම සුනෙත් රෝගාතුරව සිටියදී සිටි ස්වභාවයත් මොහුගේ ස්වභාවයත් සමානය. පැමිණ සිටි පිරිසට මෙය පෙන්වා ඔහුගේ බලපෑම සිතින් ඉවත් කර එයට සහභාගි වූ අනික් අයගේද එම මානසිකත්වය තුරන් කර එම පුද්ගලයා මෝහන නිද්‍රාවෙන් අවදි කළේය. 

”දැන් ඔබට මෙතනදී සිදු වූ සිදුවීම හොඳින්ම පැහැදිලි වී ඇතැයි මා සිතනවා” යනුවෙන් පැවසූ විද්‍යාකුලපති මහතා මේ සිදුවීම පිළිබඳව ගුප්ත ශාස්ත‍්‍ර පැත්තද පැහැදිලි කළේ මෙලෙසිනි. 

”ඔබ කිසිවකුත් ගමේ ඇදුරා සම්බන්ධයෙන් තරහක් වෛරයක් ඇති කර ගත යුතු නැහැ. එතුමා කිවූ පරිදි තොවිලය කළා නම් එතැනදීත් මේක සුව ​ෙවන්න පුළුවන්. ඒක දේශීය වෛද්‍ය ක‍්‍රමය අනුව සිදු කරන ක‍්‍රමයක්. නමුත් එහිදී ඔවුන් මහසෝන් යකා එළවනවා ලෙස පැවසුවද ඇත්තටම සිදු​ෙවන්නේ එය නොවේ. මොහුගේ මානසික තත්ත්වය සුව වීමයි. 

නමුත් නූතන මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකාර අනුව ඊට වඩා අඩු කාලයකින් බොහෝම අඩු වියදමකින් මෙවැනි තත්ත්ව සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. 

අද ​ෙවනවිට සුනෙත්ගේ සිරුරෙන් මහසෝන් යකා ඉවත් වී වසර තුනකටත් වැඩි කලක් ගත වී ඇත. මනෝ ප‍්‍රතිකාරවලින් පසුව ඔහුගේ තිබුණ බිය ඉවත් විණ. දැන් ඔහු හොඳ පෞරුෂයකින් යුක්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. 

(මෙහිදී රෝගියාගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇති අතර, සියලු වාර්තා පරීක්ෂණ සංගමය සතුව ඇති සත්‍ය සිදුවීමකි.) 

සටහන

හබරාදූව නිමල් අල්ගෙවත්ත 

ලංකාදීප ඇසුරිනි



ගෝඨයිම්බර යෝධයා අට ඉස්බක් අහසට පැන නැඟ ගැසූ පහරකදී ගෝඨයිම්බරගේ පාදයේ සුළැඟිල්ලක් වැදී ජයසේනගේ හිස ගැලවී ඈතට විසිවුණේය. මෙය දුටු සෙනසුරු එම හිසක් නැති කඳට හිසක් සෙවූ නමුත් එය සොයාගත නොහැකිව සිටින අතරතුරදී හමුවූයේ වළසෙකි. වළසාගේ හිස කරකවා ගලවා ගෙන ආ සෙනසුරු එම වළස් හිස ජයසේනගේ සිරුරට සවි කළ අතර, කලබලය නිසාම එය සවි කළේ මඳක් දකුණට ඇළවය