මිනී අළුවලටත් වඩා ප්‍රබල ගසේ අළු

පංච මහා භූත කොටස්‌ අතරින් ජනිත වූ සත්වයාගේ උපකාරයන් තුරු ලතාවන්ගේ වැඩීමට උපකාර වන්නා සේම සත්වයාගේ වැඩීමට, පැවැත්මට තුරු ලතාවන්ගේ උපකාරය අවශ්‍යම ගුප්ත විද්‍යාවත්, ආයුර්වේද විද්‍යාවත් පෙන්වා දෙයි. වෛදික යුගයේ තුරු ලතා සෞභාග්‍යයේත් සමෘද්ධියේත් සංකේතය වශයෙන් ගැනේ. එය භාරත ඉන්දියාවේ සාංචි විහාරයේ ඇති ගල් කැටයම් තුළින් කලාකරුවා ගැහැනිය හා ගස්‌වැල් අතර ඇති සම්බන්ධතාව අලංකාරව පිළිඹිඹු කොට ඇත.

පැට්‌නා ප්‍රදේශයේ මිනිසා හා ගස වෙන්කළ නොහැකි ආත්මයක්‌ ලෙස සැලකේ. අපේ ලොව්තුරු බුදුන්වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට ගසක්‌ ඉවහල්වූ බවත් බුද්ධත්වය ලැබීමෙන් පසු පළමුව අනිමිස ලෝචනයෙන් ගසට ගෞරව කළ බව බෞද්ධ අපි දනිමු. එනිසා ගසක ඇති ගුප්ත බලය කොතරම්දැයි කිව නොහැක. ගසටද ප්‍රාණය ඇත. පොරවක්‌ රැගෙන ගස කපන්නට යනවිට ගස අඬන බව පැරැන්නන් කියති. එබැවින් ගස්‌ ජාවාරම් කරුවන් මියයනවිට නොයෙකුත් රෝගයන්ට පාත්‍රවී දුඛ්‍යභාවයට පත්වේ. සමහරක්‌ ගස්‌ කැපීමේදී අත්පා කැඩීම්, මියයැම් සිදුවේ. සමහර වෘක්‍ෂයන් රටට රජුන්ට, වැසියන්ට යම් ආපදාවක්‌ වන්නේ නම් එය අනාවැකි කියන්නාක්‌ මෙන් පෙන්වීමේ බලයක්‌ද ඇත.

1915 ඇතිවූ මරක්‌කල කෝලාහලයට පෙරාතුව ජයශ්‍රී මහා බෝධිය වසා (කොඩයක්‌) කුහුඹු විශේෂයක්‌ පැතුරුණු බව පැවසේ. 1958, 1962 වර්ෂවල බෝධිය මැළවී ගියේය. ජාතිවාදී කෝලාහල ඇතිවීමට පෙර බෝධි අංකූරය මැළවී බෝපත් ගිලිහී ගියේය. 1929 ජුනි 23 වැනි දින කටුවාවල ජේමිස්‌ නමැත්තෙකු ශ්‍රී මහා බෝධියට පොරවෙන් කොටා උම්මත්තකයකු වී අංගොඩ මානසික රොහලේදී මියගිය බවද සැලවේ. අටවිසි බුදුවරුන්ද විවිධ වෘක්‍ෂයන්ගේ උපකාර ලබා ඇත. ආදීන යුගයේ සිට මිනිසා වෘක්‍ෂ වන්දනාවේ ප්‍රමුඛයාද වේ. බෞද්ධයන් හා හින්දුන් අතර මෙය ප්‍රචලිතයි. බෝ ගස වෘක්‍ෂ වන්දනාවේ ප්‍රධාන තැන ගනී. ඒ හැර නා, නුග, බෙලි, ඉඹුල්, වැටකේ, කොහොඹ ආදී වෘක්‍ෂයන්ට පුද පූජා තබා විපුල පල නෙළා ඇත. අපල සමනය වීමට මේ ගස්‌ වලට පුද පූජාවන් තබා ස්‌පර්ෂ කරති. තුරු ලතා වල ඇති නොපෙනෙන ගුප්ත බලය ඉන් අපට වැටහේ භාරතයේ විසූ ජගදින් චන්ද්‍ර බෝස්‌ වැනි උගතුන් සියුම් ස්‌පන්දනයන් දැනෙන පොළාග්‍රාප් (POLA GRAFF) නම් උපකරණයෙන් සිතුවිලි තරංග හැඟීම් ශාඛා ශෛලවලට ජනනය වන ආකාරය සොයාගෙන ඇත. අපේ පැරැන්නන් ද ඒ වගේම කටහඬෙහි ඇති තරංග මගින් ගස්‌වල පලදාව වැඩිවන බව දැන සිටියේය. තුරුලතා හා මිනිසා පෝෂණය වී වැඩෙයි. මිනිසාගේ පෝෂණයට බත් ඇටේ සිට ගෙඩි කොළ මල් ආහාර පිණිස ගන්නා අතර පංචාඟයන් ඖෂධ පිණිසද ගනී.

ශාඛා පෝෂණයට "කාබන් ඩයොක්‌සයිඩ්" හා ජලය ආහාර කර ගනී. මිනිසාට ජලය අවශ්‍ය වන්නා සේම ගස්‌ තුරු ලතා ආදියේ වැඩීමට ජලය අවශ්‍ය වේ. නැතිනම් මැරීයයි. ශාඛයක්‌ දිනෙන් දින වැඩෙන අතර මිනිස්‌ ශරීර කලකදී විනාශ වේ. ස්‌වසනය හා උද්දීප්‍යතාවමයන්ද තුරුලතා හා මිනිසා සමවේ. ආශ්වාසය ප්‍රශ්වාශය පරිසරයට අනුව හැසිරීම උද්දීප්‍යතාවයයි. හැසිරීමේ වෙනස්‌ කම් දැක්‌වීම ප්‍රතිචාරයයි කියති. ජලය හිරු එළිය වගේම ආදරය වැනි හැඟීම් ආදිය නිසා ශාක ප්‍රතිචාර දක්‌වති. මිනිසාද මේ නිසා ප්‍රතිචාර දක්‌වති.

ජගදින් චන්ද්‍ර බෝස්‌ මිනිසුන් තුළ ඇති භය ආදරය ක්‍රෝධය. වෛරය, ඊර්ෂ්‍යාව ආදී හැඟීම් තුරු ලතාවලට ඇති බව සොයා ගත්තේය. එතුමා 1902 දී රෙස්‌පෝන්ස්‌ ඉන්ද ලීව් ඇන්ඩ් නන් ලිවිං යන ග්‍රන්ථයෙන් අගේට ඒ කරුණු පෙන්වා ඇත.

අපි කථාකරන වචනවල ඇති හොඳ නරක අනුව සමහර ශාක ප්‍රතික්‍රියා දක්‌වයි. මිහිරි වදන් ශ්‍රවණය වනවිට අතු අපි දෙසට නැමී එයි. අප්‍රිය අමිහිරි පරුෂ වචන කියනවිට පිටතට නැමීමක්‌ ඇතිවේ. සමහර ඒවා මලින් පළයන්ගෙන් ගහනය වන බවත් සමහරක්‌ මැරී යන බවත් හෙළිකරගෙන ඇත. ගසට ආදරයෙන් කරුණාවෙන් පොහොර හා ජලය සත්කාර කරන විට ගහ තමාට ආදරයෙන් ප්‍රතිචාර දක්‌වයි.

සමහර වෘක්‍ෂයන් යකුන්ගේ, මියගිය ප්‍රේත භූතයන්ගේ විමාන ලෙසද, නාගයින් සර්පයන්ගේ වාසස්‌ථාන ලෙසද, සමහරක්‌ දෙවි වරුන්ගේ භවන් ලෙසද අරක්‌ගෙන ඇති බවට පැරැන්නන් ගේ විශ්වාසයක්‌ තිබිණි. එවැනි ගසක්‌ කපා එයින් ළිප දමන අළුබවට පත්වන අළු නිවසක රැඳී ඇත්නම් එය සොහොන් අළුවලටත් වඩා ප්‍රබල බව පැරැණි පතපොත පෙන්වා නිවැසියන්ගේ ආදායම් මාර්ග වැසී දිළිඳු බවටත්, රෝග පීඩා හා අකල් මරණ වලට ගොදුරු වීමත් සිදුවන බව කියා ඇත.

මත්ශ්‍ය පුරාණය, අග්නි පුරාණ, පද්ම පුරාණ, ආදියේ ඇති තොරතුරු අනුව ගස්‌ වැවීම මහා ආනිසංසයක්‌ පිනක්‌ යයි කියවේ. වරහ පුරාණයේ දැක්‌වෙන පරිදි අපායෙන් බේරීමට සිටවිය යුතු ගස්‌ මෙසේය. බෝ. කොස්‌, නුග, දැසමන්, දෙළුම්, අඹ ආදී ගස්‌ය. මහ මග යන අයගේ යහපත උදෙසා ගස්‌ සිටුවීම රජුගේ හා රාජ්‍යයේ යුතුකමක්‌ ලෙස පැරැන්නන් සැලකූහ. අශෝක අධි රාජ්‍යයා පවා ඒ පිළිවෙත රැකී වග ඔහුගේ අංක ෂඪ දරන සෙල්ලිපියෙන් පැහැදිලි වේ. එහි සඳහන්ව ඇත්තේ "මිනිසාට හා සතුනට ප්‍රයෝජනවත් වනු පිණිස මාර්ගා සන්නයෙහි නුග ගස්‌ මා විසින් වවනු ලැබීය. සැම අස්‌ දුරකම මම අඹ ගස්‌ සිටුවිමි".

ගස්‌ සිටුවීමෙන් අත්වන ප්‍රතිඵල අග්නි පුරාණයේ මෙසේ සඳහන් වේ. අනුන්ට පිහිට වීම සඳහා පලින්, මලින් පිරි ගස්‌ වැල් හැදීමෙන් මතු බවේදී මිනිසා දෙව්ලොව සැපවිඳියි. ගෙඩි, මල්, සිහිල් සෙවන දෙන ගස්‌ තිහක්‌ වැවීමෙන් මිනිසකු නිරයට යැමෙන් බේරී දෙවි, ගදඹ, අසුර, කින්නර, නාග, සිව්පා මිනිස්‌ ආදී සියලුම සත්වයෝ ඉන් උතුම් වෙති. සුරයෝ පුෂ්පයන්ගෙන්ද, පිතෘගනයා ඵලයෙන්ද, පශු, පක්‍ෂි, මනුෂ්‍යයෝ සෙවණෙන්ද පලගනී. සුවඳ මලින් හා රසවත් පලින් බර ගස්‌ වවන්නා සුරලොව සැප සම්පත් ලබන්නකු බවත්ය.

පද්ම පුරාණය විවිධ ගස්‌ වැවීමෙන් අත්වන පලයන් මෙසේ පෙන්වා ඇත. බෝරුකක්‌ රෝපණය කළොත් සම්පත් දියුණු වෙයි. දිඹුල් ගස්‌ සිටුවීමෙන් යාග හෝම කිරීමෙන් ලත් පිනට සමවෙයි. කොහොඹ ගස්‌ සිටුවීමෙන් දීර්ඝායුෂද, මහ මඟ දෙපස දම් ගස්‌ සිටෙව්වොත් දෙව්ලොව සැපද, දෙළුම් වැවීමෙන් සැපවත් ජීවිතයක්‌ද, කෑල ගසින් ආරක්‍ෂාවද, වරා ගසින් සූර්ය දිව්‍ය දෙව් ලොව ඉපදීමද, බෙලි ගස්‌ සිටුවීමෙන් ශිව ලෝකයේ ඉපදීමද, පළොල් ගස්‌ සිටුවීමෙන් ගිරිදුවගේ දෙව්ලොව ඉපදීමද, ඇට්‌ටේරියා වැවීමෙන් දෙවඟනන් විසීමද ලැබීමද, මූණමල් ගස වැවීමෙන් වැඩකරුවන් ලැබීමද, තල් ගස වැවීමෙන් දරුවන්ගේ විනාශයද, පොල් වැවීමෙන් බහුභාර්ය සේවනයට ඉඩ ලැබෙන බවද, මිදි වැවීමෙන් සියලු සම්පත් ලැබෙන බවද, වැටකේ වැවීමෙන් විනාශයද ඇතිවන බව දේව පුරාණයෙහි විස්‌තර කර ඇත.

සියඹලා ගස්‌ කැපීමෙන් රජුගේද, ගෘහාධිපතිගේ විනාශයද චෛත්‍ය සුසානය, විහාර ග්‍රාම දේවාල ඉඩම්වල ගස්‌වැල් ආදිය කැපීමෙන් දුර්භික්‍ෂය, දේපළ ධනය විනාශවීම, දරුණු රෝගාබාධයන්ට ගොදුරු වීම, මන්ද බුද්ධික දරුවන් බිහිවීම, අකල් මරණයන්ට බිලිවීම සිදුවන බව සඳහන් වේ.

අද යාන්ත්‍රික ශිෂ්ටාචාරය විසින් පෝෂණය කරන වත්මන් සමාජය මුදල් දෙගුණ තෙගුණ කරගැනීමට තුරු ලතාවන් විනාශ කරන්නේ කැලෑ පාළුවන් වශයෙන්ය. එය ඔවුන්ගේම විනාශය ලංකර ගැනීමයි. 'මනු සංහිතාව' ලියවුණු වකවානුවේ සිටම ගස්‌කැපීම දඬුවම් ලැබිය යුතු වරදක්‌ මෙන්ම ඔහු මහා නරකයේ දැවෙන බව ප්‍රකාශිතයි. ගස්‌ කොලන්වල අවශ්‍යතාව සැලකූ මහ ඉසිවරුන් සහ බුදුරජාණන් වහන්සේ වනෝද්‍යාන ඇතිකිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ. එසේ කිරීම පිං වැඩෙන උල්පතකැයි වදාළසේක.

අග්නි පුරාණයේ මෙසේ සඳහන් වේ. ගස්‌වැල්වලට අරක්‌ ගත් දෙවිවරු සිටින බවත් වැඳුම් පිදුම් කිරීමෙන් තම පරමාර්ථයන් ඉටුවෙන බවත් කියා ඇත.

දරුවන් නැති අම්මාවරු ගස්‌ වැල් රෝපණය කර ඒවාට සාත්තු සප්පායම් කර පෝෂණය කිරීමෙන් මතු ආත්ම භවේදී දරුපල ලබාගැනීමට හේතුවන බව පැරණි ඉසිවරු සඳහන් කොට ඇත. මේ එවන් ගීයක්‌ වරග පුරාණයෙන්.

අස්‌ වෘක්‍ෂ මේකං පුම්මන්ද මේකං

ෙන්‍යග්‍රෝධ මේකං දස පුෂ්ප රාශිං

දේව දේව තථා දාසිම මාතුලාංගේ

පඤ්චාමුරෝපි නරකං නයා නතී

යමකු බෝගසක්‌, නුග ගසක්‌, කොස්‌ ගසක්‌ද, දැ සමන් ගස්‌ දහයක්‌, දෙළුම් ගස්‌ දෙකක්‌, අඹගස්‌ පහක්‌ රෝපණය කෙරේනම් ඔහු නරකාදියට නොයති. ඔහු යහපත් උපතක්‌ ලබයි. ගස්‌ වැල් රෝපණය කිරීම සදාකාලික පිං වැඩෙන මහඟු පිංකමක්‌ බව අපේ බුදුරජාණන් වහන්සේ 'වනරෝප සූත්‍රයෙන්' දේශනා කොට ඇත.

එබැවින් ගස්‌ වැල් රෝපණය නොකර හදා ඇති ගස්‌ හොරන් කපා මුදල් තෙගුණ කිරීමේ අදහසින් උපයන කැලෑ පාළුවන්ට නම් මේ පාපයෙන් ගොඩවීමට සසරින් සරටම බැරිය. එවන් දැව හොරුන්, මුදලාලිලා අංශභාග රෝගියන් වී, කොරවීම්, කට ඇදවීම්, ගොත ගැසීම්, ගොළු, බිහිරි, අන්ධ, උම්මත්තකයින් වීම, සුව නොවන දද, කුෂ්ඨ, පරංගි වන තුවාල බගංදරා, දියවැඩියා, පිළිකා ආදී රෝගයන්ට ලක්‌ව ඔත්පල වී කලකදී සිවු මැදුරු මහල් මන්දිරයෙන් බිමට ඇද වැටෙන්නේ එතුවක්‌ හරි හම්බ කළ ධනය ගසේ දර පිළිස්‌සී අළු බවට පත්වන්නා ලෙසින් අන්ත අසරණ භාවයට පත්ව මොලොවදීම අපාදුක්‌ විඳිනා බව අපේ නෙත්වලට හොඳින් දර්ශනය වේ.

බුද්ධ කාලීන භාරතයේ නිගන්ඨනාථපුත්තගේ ස්‍යාද්වාදී දර්ශනයට අනුව ගස්‌වැල් හඳුන්වා ඇත්තේ ඒකේන්ද්‍රීය ප්‍රාණීන් ලෙසින්ය, ගුප්ත විද්‍යාවේදී ගස්‌වල කොටස්‌ ගැනීමට පෙර එම ගස වටා පැදකුණු කිරීමටද ගස්‌වලට යම් යම් පුද පූජා තබා මන්ත්‍ර වලින් මැතිරීමටද නිර්දේශ කොට ඇත. එමෙන්ම විවිධ ඖෂධ වර්ග ගන්නා විට යම් යම් ස්‌ථානවල ගස්‌ වල කොටස්‌ නොගන්නා ලෙසද, යම් යම් දිශාවන් වලට විහිදී ගිය ශාඛවල කොටස්‌ ගතයුතු බව විශේෂ හුර්තයන්ගේ ඖෂධ ලබා ගැනීමේදී උපදේශයන් තුළ ඇතුළත්ය.

මේ නිසා තිබෙන ගස්‌ රැක ගැනීම හා ගස්‌ සිටුවීම පොදු ජනතාවගේත් රාජ්‍ය නායකයන්ගේත් යුතුකම වේ.

ජ්‍යෙතිෂ විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති,

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ



පැට්‌නා ප්‍රදේශයේ මිනිසා හා ගස වෙන්කළ නොහැකි ආත්මයක්‌ ලෙස සැලකේ. අපේ ලොව්තුරු බුදුන්වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට ගසක්‌ ඉවහල්වූ බවත් බුද්ධත්වය ලැබීමෙන් පසු පළමුව අනිමිස ලෝචනයෙන් ගසට ගෞරව කළ බව බෞද්ධ අපි දනිමු. එනිසා ගසක ඇති ගුප්ත බලය කොතරම්දැයි කිව නොහැක.