සිරුර වියපත් වන්නට නොදී තිරිහන්ව රැක ගන්නා රහස මෙන්න

අප මේ ගත කරනුයේ 2017 වසෙර්ය. වසරක් ගෙවීමේදී ජීවත්වීමට තිබූ කාලය තවත් වසරකින් අඩු වූ බව පවසමින් ඇතැමෙක් සුසුම් හෙලනු දැකිය හැකිය. අප සමස්තයක් වශයෙන් වයස්ගත වීම තනි ක්‍රියාවක් නොව, ඒ ඒ ඉන්ද්‍රියයන් වයසට යාම නිසා අත්වන එකතුවක ප්‍රතිඵලයකි. අපේ සිරුරේ එක් එක් ඉන්ද්‍රියය හා පද්ධති වයසට යන ආකාරයත් එම තත්ත්ව පමා කිරීමට අපට ගත හැකි පියවර ඇත්නම් ඒවාද අප සැලකිල්ලට ලක්කර බලමු.

අස්ථි හා පේශි වයසට යන හැටි

පේශි වයසට යාම අවුරුදු 30දී සිදුවේ, අස්ථි වයසට යාම අවුරුදු 35දී පමණත් ආරම්භ වෙයි. අස්ථි නිරන්තරයෙන්ම පැරණි පටක හා සෛල බිඳ වැටෙමින් නව පටක හා සෛල තැනීම මඟින් අලුත්වන්නකි. දරුවන්ගේ අස්ථි වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මුළුමනින්ම අලුත්වැඩියා විය හැකි නමුදු වැඩිහිටියෙකුගේ අස්ථි එම කාර්යය සඳහා වසර 10ක් පමණ ගනියි. එසේම වයසට යන විට ඒවා තරමක් හැකිලීමටත් ලක්වෙයි. ඔස්ටියෝපොරෝසියාව හෙවත් අස්ථි හි ක්ෂිනතාවය වයස්ගත වීමේ ප්‍රතිඵලයක් පමණක් නොව, ආර්තවහරණය සිගරැට් දුම්පානය, ප්‍රමාණවත් තරම් කැල්සියම් නොලැබීම මෙන්ම ශරීරය නොවෙහෙසීම හා ව්‍යායාම නොගැනීම ආදියේ ද ප්‍රතිඵලයකි. මෑතකදී සිදුකළ අධ්‍යයන මඟින් පෙන්වා දෙන අළුත් කරුණක් නම් අස්ථි ඝනත්වය අඩුවීම, හෘදයාබාධ ඇති කිරීමට මුල්වන අවදානම් සාධකයක් ද වන බවය. මේ අතර ඔස්ටියෝ ආර්තරයිටීස් හෙවත් අස්ථි පර්වද්‍රහය මඟින් හෙළිදරව් කරනුයේ සන්ධිවල කාර්ටිලේජයන්හි ඇතිවන වෙනස්කම්ය. එය තදබල වේදනා ඇති කිරිමට ද සමත්ය.

මේ අතර වයස අවුරුදු 40 ක් වනවිට වර්ෂයකට සියයට 0.5 -2 දක්වා ප්‍රමාණයකින් පේශි ප්‍රමාණය අඩු වීමටද පටන් ගනියි. වයසට යනවිට සම රැළි වැටෙන්නේ මෙසේ පේශි දියවී යාම හේතුවෙනි.

මෙම තත්ත්වය පාලනය සඳහා ඔබට කළ හැකි දේ

ගෙල, සන්ධි සහ කොන්ද ප්‍රදේශය ශක්තිමත් වීම සඳහා ව්‍යායාමයෙහි නිරතවන්න. මෙසේ ව්‍යායාම ගැනීමෙන් අස්ථි සහ පේශින් ද ශක්තිමත් වෙයි. ඇවිදීම ද හිතකර ප්‍රතිඵල උරුම කරන ව්‍යායාමයකි. දවසකට මිනිත්තු 30ක පමණ කාලයක් හිරු එළියේ සිටීම මඟින් මෙන්ම කැල්සියම් බහුල ආහාර (එළවළු, පියලි ඇට, කුඩා මත්ස්‍යයන් හා කරවිල හා විශේෂයෙන්ම කිරි) ගැනීමද අස්ථි හා පේශි වයසට යාම පමා කිරිමට උදව් කරයි.

මොළය වයසට යන හැටි

මොළය වයසට පත්වීමේ ගමන ආරම්භ කරනුයේ අප තරුණ කාලයේදීය. ඒ වයස අවුරුදු 20ක් තරම් වන කාලයේ සිටය.

අප වයසට යනවිට මොළය නිර්මාණයවී පවතින ස්නායු සෛල සංඛ්‍යාව අඩුවන්නට පටන් ගනියි. සෛල බිලියන 100කින් සමන්විතව ඇරඹුණු මොළය අපට වයස අවුරුදු 40 වනවිට දිනකට සෛල 10000 බැගින් අහිමි වන තත්ත්වයට පත්වෙයි. එය මතකයට, සම්බන්ධීකරණයට මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වයටද බලපානු ලබයි. මොළයට ලැබෙන ලේ ප්‍රමාණය අඩුවීම සහ එහි ඇතිවන රසායනික වෙනස්කම් හේතුකොට ක්ලාන්තය, අමතක වීම, වියවුල් බව, සමතුලිතතාව රැකගත නොහැකිවීම මෙන්ම මානසික ක්‍රියාකාරීත්වයේ දුර්වල වීමද දැකිය හැකිය. ආඝාතය, ඇල්ෂයිමර්, පාර්කින්සන්, විෂාදය සහ රුධිර නාළ තුළ මේද තැන්පතු පැවතීම ආදී රෝග තත්ත්වයන් නිසා මෙම ලක්ෂණ වඩා දරුණු වීමටද පුළුවන.

මෙහිදී සතුටට පත්විය හැකි කරුණ නම් සැලකිය යුතු මතක අහිමි වීමක් දක්නට ලැබෙන්නේ සියයට 20%ක් පමණ වන වැඩිහිටියන් සංඛ්‍යාව පමණි. ඩිමෙන්ෂියාව නම් මානසික රෝග තත්ත්වය නොමැති නම් කෙටිකාලීන මතක ශක්තියට තර්ජනයක් එල්ල නොවන බවද පළවෙයි. දැනුවත් බව ඉහළ මට්ටමකින් පවතින බවද කිව යුතුය.

ඔබට කළ හැකි දේ

තව තවත් කියවන්න. අලුතෙන් භාෂාවක් හෝ වෙනත් වැදගත් යමක් ඉගෙනීමට උත්සාහ දරන්න. ප්‍රහේලිකා විසඳීම, බුද්ධි ප්‍රබෝධන ගැටලු විසඳීම මෙන්ම චෙස්, කැරම්, දාම් ක්‍රීඩාවල නිරතවන්න. ප්‍රවෘත්තිවලට සවන් දෙන්න. කෞතුකාගාර නැරඹීම, රූපවාහිනිය නැරඹීම හා සමාජශීලි ජීවිත ගත කිරිම මොළයට “විරාමයක්” නොදී තිරිහන් බව රැක ගැනීමට උදව් වන බව මනෝ විද්‍යාඥයන්ගේ අදහසය.

තුසිත මලලසේකර

දිනමිණ ඇසුරිනි



සමස්තයක් වශයෙන් වයස්ගත වීම තනි ක්‍රියාවක් නොව, ඒ ඒ ඉන්ද්‍රියයන් වයසට යාම නිසා අත්වන එකතුවක ප්‍රතිඵලයකි. අපේ සිරුරේ එක් එක් ඉන්ද්‍රියය හා පද්ධති වයසට යන ආකාරයත් එම තත්ත්ව පමා කිරීමට අපට ගත හැකි පියවර ඇත්නම් ඒවාද අප සැලකිල්ලට ලක්කර බලමු