තම මරණය සියෑසින් දුටු මිනිසෙක්‌

ජීව අජීව ලෝකයේ ෙච්තනාව මත පදනම්ව සිදු වන සෑම ක්‍රියාවකම ඵලයක්‌ ලෙස කර්මය සංවිධානය වේ. එය සංසාරික වශයෙන් කාලාන්තරයක්‌ ගමන් කරන සියලු ලෝකවාසී සත්වයන්ට පොදු වූ ජීවී සාධකයකි. යමෙකු මෙලොව ජන්මෝත්පත්තිය ලබන්නේ ද ඒ දිනම ඔහුගේ මරණයද සනිටුහන් කර ඇත. නමුත් එය කවදා, කොතැනක, කුමන අයුරකින් සිදු වන්නේ ද යන්න කිසිවකුත් නොදනී. එපමණක්‌ ද නොව තම ජීවී සංඝටකයක්‌ සහිත මේ මිනිස්‌ කය, මනස යන කිසිම ඉන්ද්‍රියකටද තමන් මේ ගත කරනුයේ තම ජීවිතයේ ගෙවන්නා වූ අවසාන හෝරාව යෑයි කිව නොහැක. නමුත් ධ්‍යානය වැඩී පෙර සිටියායෑයි කියන මහරහත් මාර්ගඵල ලාභී ශ්‍රමණයන්ටත්, තම ජීවන චක්‍රය සාධනීය ඉසව්වකට ගෙන ඉන් ලද ජයග්‍රහණය ලෝකවාසී සියලු සත්වයන්ට පසක්‌ කරන ලෙසින් තම ජීවිත කැපවීමෙන් හිමාල වනයේ වනගතව භාවනා කරනු ලබන බව කියන ධ්‍යානය වැඩූ යෝගී ශ්‍රමණයන්ටත් හැර අන් කිසිවකුටත් තම මරණය පිළිබඳව අදහසක්‌වත් කිව නොහැක.

කෙසේ වෙතත් සමාජයේ නොයෙක්‌ කාලවලදී අසන්නට ලැබුණු නොයෙක්‌ තොරතුරුවලට අනුව සමහර මිනිසුන් තමාගේ මරණය පිළිබඳව කලින් අනාවැකි කියා ඇත. තවත් සමහර මිනිසුන් තම මරණය පිළිබඳව සිය නෙත්වලින්ම දැක ඇති අවස්‌ථාද ඇත. එසේ තම මරණය සිදු වූ මොහොත හා ඉන් කම්පනයට පත්ව සොවින් තැවෙන තම ඥාතීන්ගේ දුක හා තම ජීවිතය රැක ගැනීමට අපරිමිත වෙහෙසක්‌ ගත් වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ අපරිමිත කැපවීම සජීවීව දුටු පුද්ගලයෙකු පසුගිය දිනක අප හට මුණ ගැසිණ. ලෝකයේ සිදු වන විවිධ විපර්යාසයන් සේම මෙයද විශේෂිත වූ සිද්ධියකැයි කිව හැක්‌කේ ඉතාමත් කලාතුරකින් සිදුවන්නා වූ දෙයක්‌ සේම එහි අත්දැකීම ලැබූවෙක්‌ පොතින් පතින් හැර සැබවින්ම මුණ ගැසුණු නිසාවෙනි. ඔහු නමින් කේ.ඩී.රණවීර ය. රැකියාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියකු ලෙස වසර 22ක කාලයක්‌ සේවය කර ඇති දක්‍ෂ නිලධාරියෙකි. 2005 වසරේ සිය හමුදා දිවියෙන් විශ්‍රාම ගත් හෙතෙම අනතුරුව සී සෙල්ස්‌ රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක ආරක්‍ෂක අධ්‍යක්‍ෂකයකු ලෙස සේවයට එක්‌ වෙයි. එලෙස එතෙර රැකියාවකට ගොස්‌ සිටින අතර වාරයේ 2012 වර්ෂයේ පෙරළා ලංකාවට පැමිණෙනුයේ ඔහුට හදිසියේ ඇති වූ රෝගී තත්වයක්‌ නිසාවෙනි. ඔහු තම ජීවිතයේ අත් විඳි හා යමෙකුට පැවසුවද විශ්වාස නොකරන තරම් වූ ඒ මරණයේ අත්දැකීම අත් විඳිනුයේද මේ වකවානුවේදීය. ඔහු ලද ඒ අත්දැකීම පිළිබඳව දැන ගැනීම පිණිස පසු ගිය දිනක අප ඔහු සොයා ඔහුගේ නිවෙසට ගියෙමු. ඇහැලියගොඩ නගරයට ආසන්නයේම පිහිටි පොත්තකුඹුර ප්‍රදේශයේ සුන්දර වෙල්යාය මැද පිහිටි නිවසේ තම ආදරණීය බිරිඳ සම`ග විශ්‍රාම සුවයෙන් පසු වන මොහොතක ඔහු සොයා ගිය අපව ඉතා ඕනෑකමින් පිළිගත් හෙතෙම ඒ මරණයේ වූ අපූර්ව වූ අත්දැකීම අප හා විස්‌තර කරන්නට විය.

මම වසර 22ක සම්පූර්ණ කාලයක්‌ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරල තමයි සී සෙල් වල පුද්ගලික ආරක්‍ෂක ආයතනයක අධ්‍යක්‍ෂක විදිහට සේවයට යන්නේ. ඒ 2005 වසරේ. නැවත 2012 වසරේ මම ලංකාවට එනවා. ඒ කාරණා 2ක්‌ උඩ. එකක්‌ මට නැවක සේවයට යැමට අවශ්‍ය පාඨමාලාවක්‌ හැදෑරීම සඳහා පානදුර ප්‍රදේශයේ පිහිටි ලංකා ඇකඩමි එකේ සී ඩී සී සහතිකය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර ගැනීම හා ඒ වකවානුවේ මගේ සිරුරේ වූ රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහායි. නමුත් මම වැඩියෙන් අවධානය යොමු කළේ පාඨමාලාවට යැම සඳහායි. ඒ නිසා මම පානදුරේ ගියා. එහේ මාස 3 ක්‌ විතර ඉන්නකොට මට ඉතා දරුණු උණ තත්වයක්‌ හට ගත්තා. ඒ කාලවකවානුව වන විට ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ වෛරස උණක්‌ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණා. මම ඇකඩමියෙ ඉන්න ගමන් රෝගයට අවශ්‍ය ප්‍රතිකාර ගත්තා. ලේ පරීක්‍ෂණ කළා. වෛද්‍යවරු හිතුවෙ මටත් අර වෛරස උණේ වැළඳිලා කියලා. නමුත් මට ප්‍රතිකාරවලින් සුවය ලැබුණෙ නෑ. මම පාඨමාලාව අතරම`ග නවතල ආපහු ගමට ආව. ඇවිත් රත්නපුරයෙන් ප්‍රතිකාර ගත්තා. එතනිනුත් සුවයක්‌ නොලැබුණු තැන මගේ බිරිඳයි, දරුවනුයි, අසල්වාසිනුයි එකතුවෙලා මාව ජයවර්ධනපුර රෝහලට ගෙන ගියා. ඒ යනකොට මගේ රුධිර පට්‌ටිකා ඝණත්වය 5000 ට බැහැල තිබුණෙ. රෝහලට ගෙන ගිය ගමන්ම මගේ ආයෙ ලේ පරීක්‍ෂණයක්‌ කළා. එතකොට රුධිර පට්‌ටිකා ඝණත්වය 2000ට බැහැල තිබුණෙ. ඩොක්‌ටර්ස්‌ල මාව අයි.සී.යූ. එකට ඇතුල් කළා.

මම රත්නපුරේ ඉඳන් ජයවර්ධනපුරට ගෙනියන අතරතුර නින්ද නොයන සේ ඇහැරවගෙන අරන් යන්න කියලා තමයි වෛද්‍යවරුන් උපදෙස්‌ දීල තිබුණෙ. මම රටවටේ විතරක්‌ නෙමෙයි ලෝකෙවටේ ගිය කෙනෙක්‌. ඒත් මම ඇම්බියුලන්ස්‌ එකේ යනකොට එහි වීදුරුවලින් වෙළඳසැල්වල වහලවල් පෙණුනේ ඉස්‌සර ජාතක කතා වල තිබුණා වගේ කියන නගර වගේ. සිහියත් අසිහියත් අතර තමයි මම හිටියෙ. කොහොමහරි මාව අයි.සී.යූ. එකට දැම්මෙ දවල් දොළහයි කාලට විතර. මගේ අත්වල කකුල්වල රතු ලප හැදිල ඒවයින් ලේ විදින්න අරන් තිබුණා. යුහුසුළුව ක්‍රියාත්මක වුණ වෛද්‍යවරු මට හදිසි ප්‍රතිකාර කරන්න අරන්. ඒ හැමදේම මට හොඳට තේරුණා. එකපාරටම වගේ මම නිදිකරල තිබුණ ඇඳ ඉස්‌සෙනව වගේ දැණුනා. ඒ එක්‌කම මගේ ඇඳ ළ`ග හිටපු නර්ස්‌ නෝන එතනින් අහකට දිව්ව. මාව උඩට පාවෙනව වගේ දැණුනා. මට මේ වුණ හැමදේම හොඳ සිහියෙන් මතකයි. මට රණවීරල දෙන්නෙක්‌ ඉන්නව පෙණුන. ඒ කිව්වෙ මම ඇඳ උඩුකුරුව නිදාගන ඉන්න බව ඉහළ ඉඳන් මටම පෙණුන එක. මගේ සිරුරින් විශාල බරක්‌ අයින් වුණා වගේ දැණුනා. ඒ දැණුන සැහැල්ලුව පුදුම සැහැල්ලුවක්‌. ඇඟට දැණුන සනීපය හරි පුදුමයි. වෛද්‍යවරු ඇඳ ළ`ගට දුවගෙන එනව දැක්‌කා. එයාල මගෙ පපුව උඩ නැ`ගල පපුව තෙරපනවා. තව අය කෘත්‍රිම ස්‌වසනය දෙනවා. වෛද්‍යවරුන් රොක්‌වෙලා මගේ ඇඳවටකරගෙන මොනවදෝ කරනව දැක්‌කා. ඔය අතරෙ විශාල සුදුපාට පුනීලයක්‌ වගේ යමක්‌ මගේ ඉස්‌සරහින් පෙණුන. ඒක අනන්තයට යන තරම් දුරකට විහිඳිලා තිබුණෙ. මාව ඒ පැත්තට පාවෙනව වගේ හැ`ගීමක්‌ දැණුන. මගේ හිත ඒ පැත්තට යන්න ආශ කළා. මේ මොහොතේ මට නෝන, දරුවො, අම්ම, තාත්ත මේ කිසිකෙනෙක්‌ මතකෙට අවෙ නෑ. මට දැණුනෙ මගෙ ඇෙ`ග් තිබුණු සැහැල්ලුවේ සැනසීම විතරයි. ඔහොම ඉන්නකොට මාව උඩ ඉඳල ආපසු මගේ ඇ`ගටම කඩාගෙන වැටුණ. ඊට පස්‌සෙ මට ටිකවෙලාවක්‌ යනකල් මතකයක්‌ තිබුණෙ නෑ. ඔය විදිහටම තමයි මගේ මරණය මම විසින්ම දැක්‌කෙ. මේක බොරුවක්‌ මුසාවක්‌ නෙමෙයි. වෛද්‍යවරුන් පවා කිව්ව මෙයා මියගියා කියලා. මගේ නෝන සාස්‌තර අහන්න තැන් තුනකට ගිහින් තිබුණා. ඒ තුනෙන් දෙකකින්ම කියල තිබුණෙ මේ ප්‍රාණියා අනිවාර්යයෙන්ම මිය යනව කියල. ඔය සිදුවීම වන මොහොතේ මගේ නෝනා මාහර පන්සලේ බෝධි පූජාවක්‌ තියල තියෙනවා. මම විශ්වාස කරන්නෙ වෛද්‍යවරුන්ගෙ කැපවීමයි සද්ධර්මයෙ රැකවරණයයි නිසා මම නැවත උපත ලැබුව කියලා. 

නොයෙක්‌ අවස්‌ථාවල තම මරණාසන්න අත්දැකීම විවිධ පුද්ගලයන් විවිධ අයුරින් දැක තිබෙනු ඇත. ඔවුන් ලද අත්දැකීම් විවිධය. බෞද්ධ දර්ශනයට අනුව නම් මියගිය පසු යමෙකු නැවත පුනර්භවයක්‌ ලබන බව අපි දනිමු. එහෙත් යමෙකු මිය යන මොහොතේ ඔහු ලබන මේ මරණාසන්න අත්දැකීම සැබවින්ම සත්‍යයක්‌ද නැත්නම් මෙය මනෝ විකාරයක්‌ ද යන්න දැනගැනීම පිණිස මා එහි කෙල පැමිණි යතිවරයෙකු හමුවිය. ඒ අන් කවරකුත් නොව මානසික රෝග පිළිබඳ දේශීය විශේෂඥ වෛද්‍ය ශ්‍රී සුමන පිරිවෙන් කෘත්‍යාධිකාරී ශාස්‌ත්‍රපති ඇහැලියගොඩ ධර්මපාල හිමියන්ය. 

ධර්මපාල හිමි

මනෝ විද්‍යාවට අනුව මිනිසාගේ මරණයෙන් මතු සිදු වන ගමන මනෝ විඤ්ඤාණය ලෙස හඳුන්වනු ලබනවා. මනෝ විඤ්ඤාණය ඇති වෙන්නේ ඇස/ කන/ නාසය/ දිව/ ශරීරය යන ඉන්ද්‍රියන් පහේ එකතුවෙනි. මේ ඉන්ද්‍රියන් පහ පිහිටල තියෙන්නේ පුද්ගල සිරුරෙයි. ජීවිත කාලය පුරාවටම මෙම ඉන්ද්‍රියන් පහ ක්‍රියාකරන ආකාරය අනුව තමයි මගේ විඤ්ඤාණය උපදින්නේ. මරණයෙන් පසු ඉන්ද්‍රියන් මියෑදුනාට විඤ්ඤාණය ඉතිරිවෙනවා. සිරුර මියෑදුනාට ඉහත ඉන්ද්‍රියන් තව දුරටත් අක්‍රීය වුණාට මනෝ විඤ්ඤානය තනියම ඉදිරියටම ගමන් කරනවා. උදාහරණයක්‌ විදිහට සිහින ගන්න පුළුවන් දවල් කාලය පුරා තමන් කළ කී සෑමදේම යටි හිතේ තැන්පත් වෙනවා. එම සිද්ධියේ අනුසාරයෙන් යටිහිත ස්‌වයංව රිසිසේ කතාවක්‌ නිර්මාණය කරනවා. ඒක තමයි අපි සිහිනයක්‌ විදිහට දකින්නේ. ඒ වගේ තමයි අපි ගත කරපු ක්‍රමයට අනුව විඤ්ඤාණය ක්‍රියාකරන්නේ. ඒකනෙ හැමවිටම හොඳ වැඩ කරන්න කියල උපදෙස්‌ දෙන්නේ. එහෙම වුණාම විඤ්ඤාණය හුරු වෙන්නෙත් හොඳ වැඩ කරන්න. සමහර ළමයි සමහර වෙලාවට අසා නොමැති දැක නොමැති දේවල් පවා කරනවා. අපි ඒකට කියන්නෙ සංසාර පුරුද්ද කියලා. සංසාරිකව එන පුරුද්ද ඇති වන්නේ පෙර කී විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය මතයි. ඉතින් ඔයවැනි අවස්‌ථාවක මරණාසන්න පුද්ගලයෙකුගේ සිරුරින් තම ඉන්ද්‍රියන් අතහැර විඤ්ඤානය උඩුගුවනට යා හැකියි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධාකාරයෙන් සිදු විය හැක. 

ඉතින් ඉහත සිදු වීම වුණත් ගත් කළ විට සුළු මොහොතකට රණවීර මහතාගේ ඉන්ද්‍රියන් අක්‍රීය වීම නිසා විඤ්ඤාණය සිරුරින් ඉවතට තනියම ක්‍රියාකරන්න යන්න ඇති. අප විශ්වාස කළත් නැතත් ලෝක ධර්මය තුළ යම් යම් දේ සිදු වන අතර ඒවාගේ ඇති සත්‍යභාවය පිළිබඳව නොයෙක්‌ පැති වලින් සිතීමට සිදුවනු ඇත. නමුත් මේ සෑම දෙයක්‌ තුළම යම් කිසි ගැඹුරු වූ අර්ථයක්‌ සැ`ගව ඇති බව නම් ඕනෑම කෙනකුට පැහැදිලිය.

අනුර ජයසේන - ඇහැලියගොඩ

ඡායාරූප - චතුලා පුංචිහේවා

දිවයින



සමාජයේ නොයෙක්‌ කාලවලදී අසන්නට ලැබුණු නොයෙක්‌ තොරතුරුවලට අනුව සමහර මිනිසුන් තමාගේ මරණය පිළිබඳව කලින් අනාවැකි කියා ඇත. තවත් සමහර මිනිසුන් තම මරණය පිළිබඳව සිය නෙත්වලින්ම දැක ඇති අවස්‌ථාද ඇත.