සතියේ ලග්න පලාපල - 2017-04-02 ඉරිදා සිට 2017-04-08 සෙනසුරාදා දක්වා

මේෂ
ඔබේ ලග්නාධිපති කුජ සමඟ බුධ ලග්නයේද, සඳු බලවත්ව දෙවැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝදුරට සුබදායක බව පෙන්වයි. ගෘහ ජීවිතය සතුටුදායක අන්දමින් ගතවන අතර ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවෙයි. ආදායම් මාර්ගද බලාපොරොත්තු වන අන්දමින් ලැබෙන බව පෙනෙයි. සතිය තුළ ඇතිවන ඕනෑම කරදරයක්‌ ජය ගැනීමට තරම් උත්සාහය, ධෛර්යය ඇති වේ. මේ අතර බිරිඳ හෝ සැමියාට දුර ගමනක්‌ යැමටද සිදුවිය හැකිය. අවිවාහක අයගේ මංගල යෝජනාවලට තරමක බාධා පවතින නිසා එවැනි කටයුතු තරමක්‌ දුරට කල්දැමීම යෝග්‍ය බව පෙනේ. උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වෙන්න. දරුවෙකුට අපලදායක බවක්‌ද පෙන්වයි. 

සුබ පාට - රෝස, සුදු, සුබ අංක - 2, 3.

වෘෂභ
සඳු බලවත්ව ලග්නයේ ගමන් කරන අතර රවි සමඟ සිකුරු එකොළහේ ගමන් කරමින් උදාවන මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳව සතුටුදායක බවක්‌ පෙන්වයි. හිතේ සහනය සහ සැනසීම ඇතිවේ. අසල්වාසීන් සමඟ පවතින සබඳතා අලුත් වේ. සහෝදරයකුගේ ජයග්‍රහණයක්‌ ගැන සතුටුදායක ආරංචියක්‌ ලැබේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතුවල යෙදෙන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා ඇත. චිත්ත ධෛර්යය හා උත්සාහය වැඩිවේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල උසස්‌ අයගේ ආධාර උපකාර ලබා ගැනීමට හැකි වේ. රැකියාව හෝ දියුණුවට කරන කටයුතු වෙනුවෙන් දුර ගමනක්‌ හෝ විදේශ ගමනක්‌ යෙදෙන්නටද ඉඩ තිබේ. මිතුරු මිතුරියන් සමඟ සතුටින් කාලය ගතවන අතර උසස්‌ අය සමඟ මිත්‍ර සබඳතා ඇතිකර ගැනීමටද හැකි වේ. සෙනසුරු දශා තරමක්‌ අපලයි. 

සුබ පාට - සුදු මිශ්‍ර ලා, සුබ අංක - 2, 6.

මිථුන 
ඔබේ ලග්නාධිපති බුධ සමඟ කුජ එකොළොස්‌ වැන්නේද සඳු උච්චව දොළහේද ගමන් කරන මේ සතිය උදාවන විට බලාපොරොත්තු නොවූ වියදමක්‌ කිරීමට සිදු වෙනවා ඇත. තැන්පත් මුදලක්‌ පවා වැයවීමට ඉඩ තිබේ. පවුලේ වියදම් පාලනය කරගැනීම වැදගත්ය. සතිය මැද වන විට තත්ත්වය මඟහැරී සුබ අතට හැරෙනවා ඇත. ව්‍යාපාර හා රැකියා අංශවල අන් අය සමඟ සතුටින් කාලය ගතවේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීමක්‌ ලැබීමටද ඉඩ තිබේ. රැකියා ප්‍රධානීන්ගේ උදව් උපකාර ලැබේ. නීතිමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වේ. පවුලේ මව්පියන් හා දූ දරුවන් සමඟ සතුටින් කාලය ගතවේ. 

සුබ පාට - කොළ මිශ්‍ර ලා, සුබ අංක - 4, 6.

කටක
සඳු උච්ඡව ලාබස්‌ථානයේ ද, රවි සමඟ සිකුරු නමවැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය ගෘහ ජීවිතයේ කටයුතු බොහෝ දුරට සාර්ථක කරගත හැකි බව පෙන්වයි. ආදායම් මාර්ගවලද සතුටුදායක දියුණුවක්‌ ඇති වේ. මිතුරු මිතුරියන්ගේ උදව් උපකාර නොඅඩුව ලැබේ. වාහන විකිණීම හෝ මිලදී ගැනීම පිළිබඳ කටයුතු සාර්ථක කරගත හැකි වේ. ආගම දහමට සිත යොමුවේ. ආගමික උත්සවයකට සහභාගි වීමටද හැකි වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශ ගමනක්‌ ගැන තිබූ අදහසක්‌ සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. සතිය මැද වන විට සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ තිබෙන නිසා ශරීර සනීපය ගැන සැළකිලිමත් වෙන්න. සඳු දශා විශේෂයි. 

සුබ පාට - මිශ්‍ර ලා, රෝස, සුබ අංක - 3, 6.

සිංහ
ලග්නාධිපති රවි සමඟ සිකුරු අටවැන්නේද කුජ සහ බුධ නමයේද සඳු දහයේද ගමන් කරමින් මෙම සතිය උදාවනවා ඇත. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තුවකට නීතිමය අංශවල අවහිරතා ඇතිවීමට ඉඩ තිබේ. ගෘහ ජීවිතය පිළිබඳව කටයුතු සාර්ථක කරගැනීමට හැකි වේ. දෙවි පිහිට, වාසනාව හා භාග්‍යය ගැන විශ්වාසය තබා කටයුතු කරගත හැකිවනු ඇත. නමුත් රවි අටවැන්නේ ගමන් කරන නිසා ඌෂ්ණාධික රෝග මෙන්ම නීතිමය අංශවල බාධාද ඇතිවීමට ඉඩ තිබේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල ප්‍රධානීන්, උසස්‌ අය සමග කටයුතු කරනවිට ඉවසීමෙන් හා දූරදර්ශීව කටයුතු කිරීම වැදගත්ය. නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. 

සුබ පාට - රෝස, කොළ, සුබ අංක - 3, 4.

කන්‍යා
කන්‍යා ලග්නයේ අධිපති බුධ සමඟ කුජ අටවැන්නේ ද සඳු නමයේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායක බව පෙන්වයි. රැකියා බාධා ඇති විය හැකි අතර කතාව නිසා අමනාපවීම් හා විවිධ ගැටලු ඇති වන බව පෙන්වයි. ස්‌නායුගත රෝග මෙන්ම හදිසි අනතුරු වලට ඉඩ ඇති නිසා ශරීර සනීපය ගැන සැලකිලිමත්වීම වැදගත්ය. අන්තරාදායක රැකියාවල යෙදෙන අය ප්‍රවේශම් වෙන්න. කෙසේ නමුත් බලවත් සඳු ඔබේ ව්‍යාපාර ඉලක්‌ක සාර්ථක කරගැනීමට හැකි බව පෙන්වයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි වේ. ආගම දහමට සිත යොමු වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. අධ්‍යාපන කටයුතු මිශ්‍රපලදායක වනවා ඇත. කුජ බුධ දශා තරමක්‌ අපලයි. 

සුබ පාට - සුදු, කහ, සුබ අංක - 2, 5.

තුලා 
ලග්නාධිපති සිකුරු සමඟ රවි හයවැන්නේද, සඳු අටේද ගමන් කරමින් උදාවන මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳව මිශ්‍රපලදායක තත්ත්වයක්‌ පෙන්වයි. සතිය මුලදී ජලයෙන් විපත් ඇතිවිය හැකි නිසා ජල ක්‍රීඩාවලින් ප්‍රවේශම් වීමද, සෙම් රෝග ගැන සැලකිලිමත් වීමද ඉතා වැදගත්ය. කෙසේ නමුත් සතිය මැද වන විට මෙම තත්ත්වය බොහෝ දුරට සුබ අතට හැරෙන බව පෙන්වයි. සේවක පක්‌ෂයේ සහයෝගය ලැබෙන නිසා ව්‍යාපාර හා රැකියා මෙන්ම ගෘහ ජීවිතයද යහපත් වේ. ගෙදර සුරතල් සතුන් ගැන වැඩි සැලකිල්ල යොමු වේ. ණය පහසුකමක්‌ ලබාගැනීමට තිබූ බලාපොරොත්තුවක්‌ ඉටු වේ.රාජ්‍ය අංශයේ මෙන්ම නීතිමය අංශවලද උදව් උපකාර ලැබිය හැකියි. සඳු දශා ගතකරන අය සතිය මුලදී ප්‍රවේශම් වෙන්න. 

සුභ පාට - සුදු මිශ්‍ර ලා, සුබ අංක - 2, 6.

වෘශ්චික
භාග්‍යයට අධිපති සඳු හත්වැන්නේද, ලග්නාධිපති කුජ හයේද ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේදී අවිවාහක අයට මංගල යෝග උදාකරයි. බිරිඳ හෝ සැමියාට සුබපලදායකයි. හවුල් ව්‍යාපාරවලින් බලාපොරොත්තු වන ඉලක්‌ක සාර්ථක කරගත හැකි වේ. ගෘහ ජීවිතයද සුභදායක වේ. දරුවන් ගැන සිතා සතුටුවිය හැකි වේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් ලාභ ලැබේ. පෙම්වතුන්ට සුබපලදායකයි. කලා හා සෞන්දර්ය අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ සුබපල ලැබේ. නමුත් සතිය මැද වන විට සෙම් රෝගයක්‌ හෝ චිත්ත පීඩාවක්‌ ඇතිවීමට ඉඩ ඇති නිසා ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න. 

සුබ පාට - සුදු, කහ, සුබ අංක - 2, 5.

ධනු
ලග්නාධිපති ගුරු දහවැන්නේද, රවි සමඟ සිකුරු හතරේද ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. රැකියා හා ව්‍යාපාර අංශවල සාමකාමී ලෙස කටයුතු කරගෙන යැමට අවස්‌ථා උදාවේ. මව්පියන් හා දූ දරුවන් සමඟ සතුටින් ගතකිරීමට ද ගෘහ ජීවිතයේ දී බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමටද හැකියාව ලැබේ. සතුරු කරදරයකින් ජය ලැබිය හැකි අතර බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබාගැනීමටද පහසුකම් ලැබේ. දරුවන් වෙනුවෙන් කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල ලැබිය හැකියි. ව්‍යාපාරිකයන්ට සුබදායකයි. ස්‌වයං රැකියා හෝ ගෘහාශ්‍රිත කර්මාන්තවල යෙදෙන අයගේ බාධා ඉවත් වේ. අධ්‍යාපන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිපල ලැබේ. 

සුබ පාට - දිලෙන සුදු, සුබ අංක - 1, 5.

මකර
ලග්නාධිපති ශනි දොළොස්‌ වැන්නේද, සඳු ලග්නයේ ද, රවි බුද ශුක්‍ර තුන්වැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට මිශ්‍රපලදායක බව පෙනේ. ගෘහ ජීවිතය පිළිබඳව බාධා ඇතිවන අන්දමින් හිතේ චංචල බව, කලබලය බලපාන බව පෙනේ. ඉක්‌මනින් කෝපවීම නිසා පවුලේ අය අතර අසමගිය ඇතිවිය හැකිය. පදිංචි ස්‌ථානය ගැන ආරවුල් ඇති වීමටද සිත් තැවුල් ඇතිවීමටද හේතුයි. පසුගිය දිනවල පැවති ගැටළුවකට විසඳුම් ලැබේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. අසල්වාසීන් සමඟ සුහදතාව වර්ධනය වේ. රාහු දශා ගතවන අයට මානසික ආතතිය අම්ල පිත්ත වැනි රෝග තත්වයන් ඇතිවීමට හේතුයි. 

සුබ පාට - සුදු මිශ්‍ර ලා, සුබ අංක - 2, 6.

කුම්භ
ලග්නාධිපති ශනි එකොළහේද, සඳු දොළහේද, රවි තුන්වැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳව සුබපලදායක බවක්‌ පෙන්වයි. චිත්ත ධෛර්ය ඉහළ යයි. සහෝදරයන්ට සුබපලදායකයි. ආදායම් තත්ත්වයද සතුටුදායකයි. ව්‍යාපාරිකයන්ට ආයෝජනය කරන මුදලින් ලාභ ලබාගත හැකි වේ. අලුත් හිත මිතුරන් හඳුනා ගැනීමටත් සතුටින් ගතකිරීමටත් කරුණු යෙදේ. මේ අතර පවුලේ වියදම් ඉහළ යැමටත්, තැන්පත් මුදලක්‌ පවා වැයවීමටත් ඉඩ තිබේ. මේ නිසා වියදම් ගැන සැලකිලිමත් වෙන්න. සතිය ආරම්භයේ දී සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය. සඳු දශා තරමක්‌ අපලයි. 

සුබ පාට - නිල්, මිශ්‍ර ලා, සුබ අංක - 6, 7.

මීන
ඔබේ ලග්නාධිපති ගුරු හත්වැන්නේද, රවි සිකුරු බුධ ලග්නයේද ගමන් කරමින් සතිය උදාවෙයි. ඉගෙනීමේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට පහසුකම් සැලසේ. දරුවන් වෙනුවෙන් කරන දේවල් වලින් සතුටුදායක ප්‍රතිඵල ලැබේ. ව්‍යාපාරවලට මුදල් යෙදවීමෙන් ලාභ ලැබේ. හදිසි ධන ලාභයක්‌ ලැබීමටත් ඉඩ තිබේ. පෙම්වතුන්ට සුබදායකයි. විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතු වලට සතිය මුලදී සුබදායකයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන බොහෝ දේ සාර්ථක කරගත හැකිවේ. පින්කමක්‌ වෙනුවෙන් අමතර මුදලක්‌ වැය කිරීමට හේතුයි. රාහු දශා ගතකරන අය උදරාබාධ, හිසේ රෝග හා මානසික ආතතිය වැනි සෞඛ්‍ය ගැටලු ගැන සැලකිලිමත් වෙන්න. 

සුබ පාට - කහ, සුදු, සුබ අංක - 2, 5.
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
දිවයින


සතියේ ලග්න පලාපල - 2017-04-02 ඉරිදා සිට 2017-04-08 සෙනසුරාදා දක්වා