සතියේ ලග්න පලාපල 2017-03-26 සිට 2017-04-01 දක්වා

මේෂ 

ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ බලවත්ව ලග්නයේමත් සඳු එකොළහේත්, රවි, බුධ, සිකුරු දොළහේත් ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට මිශ්‍රපලදායක බව පෙනේ. සතිය මුලදී පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවන අතර සහෝදරයන් සමඟ පවතින සම්බන්ධතා අලුත් වේ. ආදායම් මාර්ගවලද සතුටුදායක බවක්‌ පෙන්වයි. සතිය මැදදී බලාපොරොත්තු නොවූ බාධා ඇතිවීමට හේතුයි. බිරිඳ හෝ සැමියාට දුර ගමනක්‌ යෙදෙන්නටද ඉඩ තිබෙන බව පෙනේ. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට නීතිමය අංශවලින් හා උසස්‌ අයගෙන් උදව් ලැබේ. දරුවෙකුට අපලයි. 

සුබ වර්ණය - සුදු, සුබ අංකය - 02.

වෘෂභ 


ලග්නාධිපති සිකුරු උච්ඡව රවි සහ බුධ සමඟ එකොළහේද සඳු දහයේද ගමන් කරමින් මෙම සතිය උදා වෙනවා ඇත. සතිය මුලදී රැකියා හෝ ව්‍යාපාර වෙනුවෙන් නිතර නිවසින් බැහැරට යැමට සිදු වෙනවා ඇත. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු ඉටුකර ගත හැකිවේ. රැකියා හා ව්‍යාපාර ස්‌ථානවල ප්‍රධානීන්ගේ උදව් උපකාර හා ප්‍රශංසා ලැබේ. නායකයකු ලෙස පිළිගැනීමක්‌ද ඇති වේ. තනතුරුවල උසස්‌වීමක්‌ ලැබීමට ඉඩ ඇති සතියකි. එහෙත් අඹුසැමි භේද ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. සෙනසුරු දශා අන්තර් දශා ගතකරන අයට සෙම් රෝග හා වාතාබාධ මෙන්ම සේවක ප්‍රශ්නද ඇතිවීමට ඉඩ තිබේ. 

සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය - 06.

මිථුන 


ඔබේ ලග්නයට හා සිව්වැන්නට අධිපති බුධ දහවැන්නේ රවි හා සිකුරු සමගත් සඳු නමයේත් ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට මිශ්‍රපලදායක බව පෙනේ. ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ. මව හා පියාටද සුබදායකයි. ඒ අතර දියුණුවට කරන කටයුතු හා ව්‍යාපාර වෙනුවෙන් නිතර නිවසින් බැහැරව ගත කිරීමට ද සිදුවනවා ඇත. සහෝදරයකුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබෙනවා ඇත. රාජ්‍ය අංශයේ ආධාර උපකාර ලැබේ. නීතිමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකිවේ. බලවත් අය සමඟ මිතුරු සබඳතා ඇති කර ගැනීමට අවස්‌ථා ලැබේ. ව්‍යාපාර ඉලක්‌ක සාර්ථක කර ගැනීමට හැකිවන අතර සතියේ බොහෝ කරදර බාධා ජය ගැනීමට තරම් චිත්ත ධෛර්ය පවතී. 

සුබ වර්ණය - ලා කොළ, සුබ අංකය - 04.

කටක 


ලග්නාධිපති සඳු කේතු සමඟ අටවැන්නේද, කුජ දහවැන්නේද රවි, බුධ, සිකුරු නමයේද ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේදී සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. තීරණ ගැනීමේදී දුරදිග බලා කටයුතු නොකළහොත් විවිධ කරදර ඇතිවීමට ඉඩ තිබේ. සෙම් රෝග වැනි අසනීප තත්ත්වයන් ඇතොත් ප්‍රවේශම් වෙන්න. ජල ක්‍රීඩාවලටද සුබ නොවේ. කෙසේ නමුත් සතිය මැද වන විට මේ තත්ත්වය සුබ අතට හැරෙනවා ඇත. පවුලේ අනාගත සුබසිද්ධිය උදෙසා කරනු ලබන බොහෝ දේ සාර්ථක කරගත හැකිවනවා ඇත. අධ්‍යාපන කටයුතුවලින්ද ජය ලැබේ. වාහන ගනුදෙනුවලට සුබ කාලයකි. කලට වේලාවට ආහාර ගැනීමට සැලකිලිමත් වන්න.

සුබ වර්ණය - කොළ, සුබ අංකය - 05

සිංහ 


ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති රවි සමඟ බුධ සහ සිකුරු අටවැන්නේ ගමන් කරන අතර සඳු හත්වැන්නේ ගමන් කරමින් උදාවන මේ සතිය තුළදී යම් යම් බාධා හා කරදර ජයගැනීමට ඔබට සිදුවනවා ඇත. උසස්‌ අය අමනාපවීමට ඉඩ ඇති නිසා දුරදිග බලා ඉවසීමෙන් කටයුතු කරන්න. නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. ශරීර සෞඛ්‍යය පිළිබඳවද ගැටලු පවතී. උෂ්ණාධික රෝග, රුධිර ධාවනය පිළිබඳ ගැටලු ඇති අය වඩාත්ම ප්‍රවේශම් විය යුතු වේ. මේ අතර බලාපොරොත්තුවන ආදායම් මාර්ග අවහිර වීමටත්, ගෙදර වියදම් ඉහළ යැමටත් ඉඩ තිබේ. මේ නිසා වියදම් ගැන සැලකිලිමත් වන්න. ආගමික ජීවිතයක්‌ ගත කිරීම මගින් සහනය උදාවනවා ඇත. 

සුබ වර්ණය - රතු, සුබ අංකය - 03.

කන්‍යා 


ඔබේ කේන්ද්‍රයේ දහවැන්නට හා ලග්නයට අධිපති බුධ, රවි හා සිකුරු සමඟ හත්වැන්නේ ගමන් කරමින් උදාවන මේ සතිය මිශ්‍රපලදායක බව පෙනේ. දෛනික කටයුතුවලට බොහෝ දෙනාගේ උදව් උපකාර ලබාගත හැකිවේ. බිරිඳ හෝ සැමියාගේ සහයෝගයද නොඅඩුව ලැබේ. අවිවාහක කන්‍යා ලග්න හිමියන්ට මංගල යෝජනා උදාවේ. දරුවන්ගේ දියුණුව ගැන සිතා කරන කටයුතුවලින් සතුටක්‌ හා සැනසීමක්‌ ඇතිවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ගුරුවරුන්ගේ අනුග්‍රහය ලැබේ. මව්පියන්ටද සුබදායකයි. විදේශ ගමන් හෝ විදේශ රැකියා ලබා ගැනීමට ඇති අපේක්‍ෂාවන්ද සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. රහස්‌ සතුරන් ගෙන් ප්‍රවේශම් වීමටද සැලකිලිමත් වෙන්න. 

සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය - 06.

තුලා 


සිකුරු, රවි හා බුධ හයවැන්නේද, සඳු කේතු පස්‌වැන්නේ ද ගමන් කරමින් මෙම සතිය උදාවනවා ඇත. සේවකයන් පිළිබඳව තිබූ ගැටලුවකට විසඳුම් ලබා ගත හැකි මෙම සතියේ සේවක පක්‍ෂයේ සහයෝගය මැනවින් තිබූ බලාපොරොත්තු සාර්ථක කරගත හැකියි. නිවසේ සුරතල් සතුන් ගැන වෙනදාට වඩා සැලකිල්ල යොමුවේ. චිත්ත ධෛර්ය හා උත්සාහය වැඩිවෙන නිසා බොහෝ බාධක ජයගත හැකිවේ. අධ්‍යාපන කටයුතුද සාර්ථක කරගත හැකියි. විවාහ සහකරුට සුබදායකයි. නමුත් ක්‍ෂණික කෝපය හා කලබලය නිසා පවුලේ සමගියට බාධා ඇති විය හැකි බව මතක තබා ගන්න. 

සුබ වර්ණය - සුදු, සුබ අංකය - 02.

වෘශ්චික 


ලග්නාධිපති කුජ සතුරු ස්‌ථානයේත් රවි බුධ හා සිකුරු පහේත් සඳු හතරේත් ගමන් කරමින් උදාවන මේ සතිය බොහෝ දුරට සුබපලදායකයි. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. මව්පියන් හා දූ දරුවන් සමඟ සතුටින් කාලය ගත කරන්නට අවස්‌ථා උදා වේ. යහපත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමටත්, හිතවතුන් සමඟ සතුටින් කාලය ගත කිරීමටත් හැකිවේ. රැකියා හා ව්‍යාපාර සුබදායකයි. මේ අතර වියදම් ඉහළ යන බවක්‌ පෙන්වන නිසා වියදම් ගැන සැලකිලිමත් වෙන්න. රහස්‌ සතුරන් ගේ විරෝධය ගැන විමසිලිමත් වීමටද අවශ්‍ය වේ. 

සුබ වර්ණය - සුදු, සුබ අංකය - 02.

ධනු 


ඔබේ කේන්ද්‍රයේ ලග්නයට හා සිව්වැන්නට අධිපති ගුරු දහයේද, රවි, බුධ, සිකුරු හතරේ හා සඳු තුන්වැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවනවා ඇත. රැකියා හා ව්‍යාපාර අංශවල කටයුතු අන් අයගේ සහයෝගය ඇතිව සමගියෙන් සාමයෙන් කරගෙන යැමට හැකිවනවා ඇත. එමෙන්ම නිතර නිවසින් බැහැරව යැමටද සිදුවේ. එයද දියුණුවට කරන කටයුතු වෙනුවෙනි. ගෙදර උත්සවයක්‌ පැවැත්වීමට හිත යොමුවීමට හෝ එවැනි උත්සවයකට සහභාගී විමට කරුණු යෙදෙනවා ඇත. මව්පියන්ට සුබපලදායකයි. උසස්‌ කෙනෙකු නිවසට පැමිණෙනවා ඇත. ලියකියවිලි පොරොන්දු ගිවිසුම් ආදියට අත්සන් තබන විට දුරදිග බලා කටයුතු කරන්න. 

සුබ වර්ණය - දිලෙන සුදු, සුබ අංකය - 01.

මකර 


ඔබේ ලග්නාධිපති ශනි දොළහේද, සඳු දෙවැන්නේ රවි, බුධ, ශුක්‍ර තුන්වැන්නේද කුජ හතරේ ගමන් කරමින් උදාවන මේ සතිය මිශ්‍රපලදායක බව පෙනේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක්‌ ලැබීමට ඉඩ තිබේ. හවුල් ව්‍යාපාරවලින්ද ලාභ ලැබේ. උත්සාහය හා ධෛර්ය වැඩිවේ. අසල්වාසීන් සමඟ පවතින සබඳතා අලුත් වේ. අමනාපකම් දුරුවේ. ලිපි ලේඛන පිළිබඳ කටයුතුවලට මෙන්ම පොරොන්දු ගිවිසුම්වලට අත්සන් කිරීමටත් සුබපලදායකයි. මේ අතර ඉක්‌මන්කම කලබල වීම හා ක්‍ෂණික කෝපයට පත්වීම නිසා පවුලේ සමගියට බාධා ඇති වීමටත් මව්පියන් හෝ වැඩිහිටියන් අමනාප වීමටත් හේතු විය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. 

සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය - 06.

කුම්භ 


ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි එකොළහේත් සඳු හා කේතු ලග්නයේත් ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපලදායක බව පෙනේ. මිතුරු මිතුරියන් සමඟ ප්‍රීතිමත්ව කාලය ගතවේ. අලුත් මිතුරන් හඳුනාගැනීමටද අවස්‌ථාව උදාවේ. ව්‍යාපාර හෝ රැකියා අංශවලදී සේවක පක්‍ෂයේ සහයෝගය මැනවින් ලැබීමට හැකිවේ. ආදායම් මාර්ගද සතුටුදායක බවක්‌ පෙන්වයි. පවුලේ දියුණුවට කරන කටයුතු බලාපොරොත්තු වන තරමින්ම ඉටුකර ගත හැකිවේ. සහෝදරයන් හා අසල්වාසීන් සමඟ පැවති අමනාපකම් දුරුවී සමගිය හා සමාදානය ඇති වේ. චිත්ත ධෛර්ය උසස්‌ මට්‌ටමක පවතින නිසා බොහෝ බාධා කරදර ජයගත හැකිවේ. සෙම් රෝගවලින් ප්‍රවේශම් වන්න. 

සුබ වර්ණය - නිල්, සුබ අංකය - 07.

මීන 


ඔබේ ලග්නයේම රවි, බුධ සමඟ උච්ඡ සිකුරු ගමන් කරන අතර සඳු දොළහේත්, කුජ දෙකේත් ගමන් කරමින් මේ සතිය උදාවෙයි. හිසේ ඌෂ්ණාධික රෝග මෙන්ම සතුරු උවදුරු නිසා ඇතිවන සිත් රිදීම්වලට හේතුයි. මේ නිසා ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න. රහස්‌ සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න. කෙසේ නමුත් ගෘහ ජීවිතය යහපත් බව පෙනේ. සතිය ආරම්භයේදී අධ්‍යාපන කටයුතුවලට තරමක්‌ බාධා පවතී. දරුවෙකුටද අපලදායක බවක්‌ පෙන්වයි. ව්‍යාපාර සඳහා යොදවන මුදල්වලින් බලාපොරොත්තු වන ලාබ නොලැබීමට ඉඩ තිබේ. සති අන්තය වන විට මේ කරදර බොහෝ දුරට මඟහැරී සුබ අතට හැරෙනවා ඇත. 

සුබ වර්ණ - කහ, තැඹිලි, සුබ අංකය - 05.


සතියේ ලග්න පලාපල 2017-03-26 සිට 2017-04-01 දක්වා