පිළිකා රෝගයට දේශීය වෙදකමෙන් පිළියම්

මහ ඇලගමුවේ ලංකානන්ද නාහිමි (කුස්වල වෙද හාමුදුරුවෝ)

නූතන යුගයේ බටහිර වෛද්‍ය විද්‍යාවට ප්‍රමුඛත්වයක් ලබා දී තිබුණද අපේ හෙළ රජ දවස පටන් ආදී මුතුන් මිත්තන් ඉතා අගය කොට සැලකුවේ දේශීය වෛද්‍ය විද්‍යාවයි.


එදා අද තරම් බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක නොතිබුණ අතර පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාව මඟින් ශ්‍රී ලාංකික ජනතාවට නිරෝගී සම්පත උදාකර දුන්නේ ය. අප අවට ඇති පරිසරයෙන් සොයා ගත් ගස්, වැල්, කොළ පොතු, මුල් යනාදී ස්වභාවික ඖෂධ මඟින් කිසිදු අතුරු ආබාධයක් නොමැතිව මිනිසාට ඇති වන රෝගාබාධ සඳහා ස්ථීර ප්‍රතිකාර ලබාදී තිබුණි. අද මෙසේ නොයෙක් නම්වලින් හඳුන්වනු ලබන පිළිකා, දියවැඩියා, රුධිර පීඩනය, ස්නායු ආබාධ වැනි ශරීරයට වැලඳෙන සියලු රෝග සඳහා ප්‍රතිකාර තිබූ බවට අපමණ සාක්ෂි ඇත.

මේ හෙළදිව ජීවත් වූ ආදි මුතුන් මිත්තන් අපට ඉතිරි කර ඇති සංස්කෘතික දායාද දෙස බලන විට එම කාර්යයන් කිරීම සඳහා නිරෝගීකම සකසා දෙන්නට දේශීය වෛද්‍ය විද්‍යාව මහෝපකාරී වූ බව පෙනේ.

නිරෝගීකම සෑම සත්ත්වයකුට ලැබිය හැකි උතුම්ම සම්පතයි. නිරෝගීභාවය උදාකරගෙන අර්ථාන්විත ජීවිතයක් ගත කිරීමට දේශීය වෛද්‍ය ක්‍රමය තරම් ස්වභාවික පිරිපුන් වෛද්‍ය ක්‍රමවේදයක් තවත් නැති බව ඔප්පු වී හමාරය. දේශීය වෛද්‍ය ක්‍රමය භාවිතා කරමින් වෛද්‍ය මහ ඇලගමුවේ ලංකානන්ද නායක ස්වාමින් වහන්සේ නැතිනම් බොහෝ දෙනා හඳුනන කුස්වල වෙද හාමුදුරුවෝ, සුව කිරීමට අපහසු යැයි පවසන පිළිකා වැනි රෝග, සුව කර රෝගීන්ට නිරෝගීකම උදාකර දී අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ ආශ්චර්යය ලොවටම පෙන්වා දී තිබේ. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ - නොහැකියැයි පවසා අත්හැර දැමූ මරණයට දින ගනිමින් සිටි බොහෝ රෝගීන්ට උන්වහන්සේ තවදුරටත් ජීවත් වීමට භාග්‍ය ලබාදී තිබීම විශේෂයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.

දහසකුත් දෙනාට නිරෝගී සුවය ළඟා කර දීමට උන්වහන්සේ ඉදිරිපත් වී සිටින්නේ පාරම්පරිකව උන්වහන්සේට ලැබුණු මේ හෙළ වෙදකම භාග්‍යයක් කොට සලකමින්ය.

එසේම උන්වහන්සේ අන් අයට පිහිට වෙමින්, දේශීය වෙදකම තවදුරටත් ඉදිරියට ගෙන යාමට සිය ශිෂ්‍ය පරම්පරාව, සකසන්නේ උසස් දැනුම් සම්භාරයක් ලබා දෙමින්ය. වර්තමානයේ නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන පිළිකා රෝගය සමාජයේ දරුණු ගණයේ රෝගයක් වන අතර පිළිකාවක් වැලඳී ඇතැයි යම් අයෙක් දැනගතහොත් ඔහුගේ සම්පූර්ණ ජීවිතයම එතැන් පටන් කඩා වැටේ. කායික, මානසික වශයෙන් බිඳ වැටෙන මේ කී ජීවිතය යළි ගොඩනඟන්නට යම් කෙනෙක් සමත් වේද ඔහු සැබවින්ම ආශ්චර්යමත් පුද්ගලයෙකු වන්නේ ය.

වෛද්‍ය මහ ඇලගමුවේ ලංකානන්ද නාහිමියන් ඒ ආශ්චර්යය ලොවට පෙන්වා දී තිබේ. පිළිකා රෝගයෙන් පීඩා විඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ නොහැකි යැයි අතහැර දැමූ පුද්ගලයන් රාශියක් උන්වහන්සේ විසින් සුවපත් කර නිරෝගී බව උදාකර දී තිබේ.

බදුල්ල ප්‍රදේශයේ ජීවත්වන ආනන්ද මාපලගම මහතා ඒ සඳහා කදිම නිදසුනකි. ආනන්ද මාපලගම රියදුරු වෘත්තිය කරමින් තම දරු දෙදෙනා සහ බිරිය සමඟ ඉතාමත් සන්තෝෂයෙන් ජීවත් වූ අයෙකි. ආනන්ද හදිසියේ රෝගාතුර විය. කෑම අරුචියක්, ශරීරය අධික කෙට්ටුවීමක් නිසා වෛද්‍යවරයෙකු මුණ ගැසුණු ඔහුට වෛද්‍යවරයා ප්‍රකාශ කළේ කිසිදු රෝගයක් නොමැති බවයි. නමුත් කාලයක් ගතවෙද්දී අසනීපයේ තත්ත්වය උග්‍ර අතට හැරුණි. ආනන්ද බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී පරීක්ෂණ ගණනාවක් සිදු කළේ ය. එම පරීක්ෂණවලින් අනතුරුව තවත් පරීක්ෂණ කිහිපයක් සඳහා මහරගම පිළිකා රෝහලට මාරු කිරීම ආනන්දට මෙන්ම ආනන්දගේ පවුලේ අයට ද අදහාගත නොහැකි කාරණයක් විය.

කෙසේ නමුත් කාලය මේ ආකාරයට ගෙවී යද්දී ආනන්දගේ තත්ත්වය තව තවත් දරුණු අතට හැරුණි. කෑම අරුචිය මෙන්ම නිතර හැදෙන බඩේ කැක්කුම දරා ගැනීමට ඉතා අපහසු විය. රෝහලේදී සිදුකළ පරීක්ෂණ මඟින් ඔහුට වැලදී ඇත්තේ උදර ආශ්‍රිත පිළිකා රෝගයක් බව නිගමනය කර තිබුණි. බඩවැල් නරක් වී තිබූ නිසා සැත්කමකට භාජනය කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් නිගමනය කළ අතර එම නිසා ආනන්දට බෙහෙත් වට්ටෝරුවක් පටන් ගත්තේ ය. පළමු බෙහෙත් ලබා දීමෙන් පසු ඔහුගේ තත්ත්වය තව තවත් දරුණු අතට හැරුණි. රෝගයෙන් පීඩා විඳීම නිසා මේ වන විට ආනන්දගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර සිටියද ආදරණීය බිරිය ඇතුළු පවුලේ උදවිය නිරන්තරයෙන්ම උත්සාහ ගත්තේ කෙසේ හෝ ආනන්ද සුවකර ගැනීමටය. රෝහලේ ප්‍රතිකාර ලබාදෙන අතර නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම සහ පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කරන ස්ථාන පිළිබඳ විමසිලිමත්ව කටයුතු කළහ. ආනන්දගේ සහෝදරියක් පුවත්පතකින් කුස්වල වෙදහාමුදුරුවන් පිළිබඳ දැන ගත්තේ මේ කාලයේදීය. කෙසේ හෝ ආනන්ද සුවපත් කර ගැනීමේ අවශ්‍යතාවයෙන් සිටි ඔවුහු ආනන්දව කුස්වල වෙද හාමුදුරුවන් ළඟට ගෙන යාමට තීරණය කළහ.


නමුත් දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව එතරම් විශ්වාසයක් ආනන්ද තුළ නොතිබුණි. කෙසේ වුවත් ටික දිනකින් පවුලේ උදවිය ආනන්ද කුස්වල වෙද හාමුදුරුවන් වෙත ගෙන ගියේ ය. ආනන්ද කොතරම් දුර්වල සිටියේද යත් ඔහුට නැඟිට සිටගැනීමටවත් ශක්තියක් තිබුණේ නැත. නමුත් කුස්වල හාමුදුරුවන් ළඟට ගොස් සති කීපයක් ප්‍රතිකාර ගනිද්දී දේශීය ඖෂධවලින් යම් ගුණයක් සහනයක් ශරීරයට දැනෙන බව ආනන්දට හැඟී ගියේ ය. ඒ අනුව නියමිත උපදෙස් පරිදි නොකඩවා ඖෂධ ලබාගත් ආනන්ද අද පිළිකා රෝගී තත්ත්වය සුව වී රැකියාවෙහි නිරත වෙමින් ඉතාමත් නිරෝගිමත් ජීවිතයක් ගත කරයි. කුස්වල වෙදහාමුදුරුවන්ගෙන් ප්‍රතිකාර ලබා පිළිකාව සුවකරගත් ආනන්ද තම අදහස් ප්‍රකාශ කළේ මෙසෙයි.

‘මම කුස්වල හාමුදුරුවන්ගෙන් ප්‍රතිකාර ගැනීමට ගියේ 2007 දෙසැම්බර් මාසයේදී දැන් මට හොඳටම හොඳයි. මම ඒ හාමුදුරුවන් කියන විදිහටම බෙහෙත් ගත්තා. මම වෘත්තියෙන් රියදුරෙක්, දැන් මට ඉස්සර වගේම හොඳට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන්. ශරීරයට කිසිම වෙනසක් දැනෙන්නේ නෑ. මාව සුවපත් කළ කුස්වල හාමුදුරුවන්ට අපි උදේ සවස පින්දෙනවා. උන්වහන්සේ මතු නිවන් දැක බුදුන් දකින්න ප්‍රාර්ථනා කරනවා. මේ ආනන්දගේ හදවතින්ම මතු වී ආ පැතුමයි.

මේ තරම් දරුණු රෝගයත් වැලඳී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි ඔහුට තවදුරටත් ජීවත් වීමට භාග්‍ය උදාකර දුන් මේ යතිවරයාණන් පිළිබඳ ඔහුගේ හදවතේ ඇත්තේ කියාගත නොහැකි තරම් භක්තියකි. සතුටකි. ආනන්ද රෝගාතුර වූ දවසේ පටන් අනේක විද දුක් ගැහැටවලට මුහුණ දෙමින් කෙසේ හෝ ආනන්දව සුවපත් කරගන්නවා කියන හැඟීමෙන් සිටි ආනන්දගේ බිරිඳයත් ඇත්තේ අද අපමණ සතුටකි. කුස්වල වෙදහාමුදුරුවන්ට පින් දෙනවා හැරෙන්නට උන්වහන්සේට ලබා දෙන්නට වෙනත් වටිනා යමක් ඔවුනට නැත. ඒ වගේම ආනන්ද පැවසුවේ ගොඩාක් අය සිංහල බෙහෙත් පාවිච්චියට අමාරු නිසා දේශීය ආයුර්වේද ප්‍රතිකාරවලට නැඹුරු නොවන බවයි. නමුත් මම දන්නවා අසාධ්‍ය පිළිකා රෝගයකින් පෙළුණු මා එයින් සුව වූ නිසා සිංහල බෙහෙත් දිව්‍ය ඖෂධයක් හැටියට සළකනවා.

නමුත් වෛද්‍යවරුන් කීවේ මා ජීවත් වන්නේ මාස එක හමාරයි කියලයි. නමුත් මම දැන් සම්පූර්ණයෙන් සුව වෙලා සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා. ආනන්ද වගේම තවත් මෙවැනි රෝගීන් කොතෙකුත් රට පුරා ඇත. නමුත් ඔවුන් අපේ දේශීය වෙදකමේ මහිමය හරිහැටි නොදන්නා නිසා ජීවිතය විඳවනවා වන්නට පුළුවනි. භයානක රෝග වැළඳීම නිසා ජීවිතය අත්හැර දමා සිටින රෝගීන්ට ජීවත් වීමේ ආශාව ඇතිකර ගන්න ආනන්දගේ කතාව කදිම උදාහරණයකි.

ආනන්ද පිළිබඳ වෛද්‍ය මහඇලගමුවේ ලංකානන්ද නායක හාමුදුරුවෝ ප්‍රකාශ කළේ මෙවන් අදහසක්.

ඔහු හෙළ වෙදකම අගය නොකරන කෙනෙක් බව මම මුලින්ම දැන ගත්තා. නමුත් කාලයක් යද්දී සිංහල වෙදකමේ වටිනාකම ඔහුට තේරුණා. අවුරුදු එකහමාරක් පමණ ප්‍රතිකාර කරනකොට ඔහුට දෛනික කටයුතු කර ගැනීමට පුළුවන් වුණා. රටපුරා මෙවැනි රෝගීන් දහස් ගාණක් ඉන්නවා. බටහිර වෙදකමට අනුව පිළිකා පාලනය සඳහා ලක්ෂ ගණනින් මුදල් වැය වෙනවා. පෞද්ගලිකව ශල්‍යකර්මයක් කර ගැනීමට ලක්ෂ දහයක් පහළොවක් පමණ වැය වෙනවා. ඒ වගේම ලියුකේමියා, තැලසීමියා පිළිකා වැනි භායානක රෝග සඳහා විවිධ රටවලට ගොස් පරීක්ෂණ පවත්වා විශාල මුදලක් වැය කරනවා.

නමුත් ජනතාව තව අපේ දේශීය වෙදකම පිළිබඳව දැනුවත් වෙලා මදී. ඉතා දරුණු රෝගාබාධවලට හා පිළිකා රෝගවලට අපේ දේශීය වෙදකමේ අත්දුටු හොඳ ප්‍රතිකාර තිබෙනවා. මෙම රෝගියා පිළිබඳ මා ඉතා සතුටෙන් ප්‍රකාශ කරන්නේ ඔහුට කලින් ප්‍රතිකාර කර වෛද්‍යවරු ඔහු කැඳවා පරීක්ෂණ රාශියක් පවත්වා එම ප්‍රතිඵල මත ඔහු දැනට ඉතාමත්ම හොඳ තත්ත්වයෙන් පසුවන බවත් ප්‍රකාශකොට ඇත්තේ ඉතාමත් සතුටින්. එවන් පරීක්ෂණයක් කිරීම පිළිබඳව මා එම වෛද්‍යවරුන්ට අනේක වාරයක් ස්තූති කරමි.

දේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් තියෙනවා. ඒ නිසා මම රජයෙන් සහ විෂයභාර අමාත්‍යතුමාගෙන් ද, සමස්ත වෛද්‍යවරුන්ගෙන් ද, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් ද, ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙවැනි රෝගීන් කැඳවා බටහිර වෛද්‍ය වාර්තා පරීක්ෂාකොට මා වෙතින් කරණු ලැබූ ප්‍රතිකාර හා පරීක්ෂණ වාර්තා පරීක්ෂාකොට දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳවත්, මෙම ප්‍රතිකාර පිළිබඳවත් ජනතාව දැනුවත් කොට දේශීය වෙදකමෙන් නිසි ප්‍රයෝජන ගන්නා ලෙසයි. ඒ සඳහා මඟ පෙන්වීම ඔබතුමන්ලා සතු වගකීමක් යැයිද මා සිතනවා.

මෙවැනි රෝගීන් සඳහා ලබා ගන්නා ඇතැම් ඖෂධ මිල අධිකයි. බොහෝ වේලාවට මගේ ප්‍රතිකාරවලදී අවශ්‍ය වන ඖෂධ ආයුර්වේද සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් අනෙකුත් පෞද්ගලික නිෂ්පාදන ආයතන මඟිනුත් ඉතා ඕනෑකමින් සකසා දෙන අතර ඇතැම් ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කරන බවත් මතක් කරන්න කැමැතියි.

දේශීය හෙළ වෙදකමේ ආශ්චර්යය ලොවට පෙන්වමින් දහස් ගණන් ජනතාව සුවපත් කරන වෛද්‍ය මහ ඇලගමුවේ ලංකානන්ද නාහිමියන් පිළිබඳ නොදන්නා අය තව බොහෝ සිටින්නට පුළුවනි. පාරම්පරිකව පැවත එය අපේ දේශීය හෙළ වෙදකමින් ජීවිත සුවපත් කරන්නාවූ උන්වහන්සේට අනෙකුත් අයගේ සහයෝගය ලැබෙන්නේ නම් මේ දේශීය හෙළ වෙදකම තවදුරටත් ජනතාව අතරට ගෙනයාමට හැකි වනු ඇත.


උපනන්ද නන්දිමිත්‍ර
දිනමිණ ඇසුරිණි


නූතන යුගයේ බටහිර වෛද්‍ය විද්‍යාවට ප්‍රමුඛත්වයක් ලබා දී තිබුණද අපේ හෙළ රජ දවස පටන් ආදී මුතුන් මිත්තන් ඉතා අගය කොට සැලකුවේ දේශීය වෛද්‍ය විද්‍යාවයි.